Sunday, December 18, 2016

කෝපි (Can't come up with a title. So settled down for the first word.)

කෝපි කෝප්පය අතැතිව, කෝමල සිනහව මුවැතිව, ඇය සඳැල්ල මත ට වී සිටියා ය. මම තවම මගේ කෝප්පය ට කෝපි වත්කරමින් සිටි මි. ඇය දොර කවුළුවෙන් ම දෙස බලා සිනහසෙ යි. ඈ සිනාසෙන විට ඈ ගත ප්‍රීතියෙන් නලිය යි. ඈ දෑස් පොපිය යි. අන් කිසිවෙකු කෙරෙන් මා නොදුටු පරිද්දෙනි. තෘප්තකර ය.

මම ද ඈ දෙස බලා සිනහසෙ මි. ඒ දෙනෙත් මා ඒ සඳලුතලය ට කැඳව යි. මා එදෙස ට ඇදී යන්නේ නිතැතිනි. මා සඳැල්ල ට බසින විට ඈ ගත වෙලා තිබූ පොරෝනය යටට පැමිණෙන ලෙසට ඇරයුමකි. මම ඒ ඇරයුම පිළිගනි මි. හිරි ගඩු පුබුද්දන අරුණෝද පවනැල්ල නිසා ම පමණක් නොවේ.

හාත්පස වෙලා ඇති දරුණු වූ නිහඬ බවකි. ඇය කෝපි බිඳක් උගුරට හලා ගැන්මෙන් ඒ පාරිසරික දැහැනේ සම නො බිඳේ. මම පළමු උගුර ට පෙරාතුව දුම් දමන කෝපි කෝප්පය ට තම වෙහෙස නිවා ගැන්මට ඉඩ හරි මි. පොරෝනාවට මත්තෙන් ඈ වමත මා සුරතෙහි දැවටෙනු මට දැනේ. මා අතැඟිලි ද ඒ සමඟ නර්තනයක පැටලී ඇතිවාක් මෙනි.

එනමුදු ඈ දෙනෙත් මා සමඟ වූ සංවාදය අවසන් කර ඇති සෙයකි. ඈත ක්ෂිතිජයට බිඳක් මෙපිටින් වූ කඳු පන්තිය සෙවිලි කළ පාටලාකාශය මා ප්‍රතිස්ථාපනය කර ඇත. විමතිය ට කරුණක් නොවේ. සැබැවින් ම ඒ ගගනත මනස්කාන්ත ය. ඒ ගිරිතර ය පසුපස සැඟවී හිඳින හිරු ප්‍රතිභාපූර්ණ සිත්තරෙකි. මුළු ගුවන ම කැන්වසයක් බඳු ය.

"ඇයි ඔයා එයාට තාම එච්චර ම ආදරේ?"

මම තිගැස්සී යමි. ම සිත ක්ෂිතිජය අසල අතරමන් වන විට ඇය ඇගේ දෘෂ්ඨිය නැවත ම දෙස ට හෙලා ඇත.

"ඇයි ඒ ප්‍රශ්නෙට ඔච්චර බය වුනේ? මමවත් ඔයාවත් නොදන්න දෙයක් ගැන නෙවෙයි නේ ඇහුවේ."

ඇය ඔච්චම ට මෙන් සිනහසෙ යි. ඇගේ දෑස් ද ම දෙස බලනුයේ සරදම ට මෙනි. කෙලිදෙළෙනි. පිළිතුරු නො බැඳ පලා යාමට ඉඩ නැති සෙයකි.

"බය වුනා නෙවෙයි. ඇයි එහෙම දෙයක් දැන් ඇහුවේ කියලා පුදුම වුනා විතරයි."

"ඇයි ඉතින් එහෙනම් උත්තර නොදී ප්‍රශ්නේ මඟ අරින්නේ?"

"ඔයා අහන හැම ප්‍රශ්නේට ම උත්තර දෙන්න ඕනේ නැති නිසා."

මම ඇගේ වල ගැහුනු වම් කොපුලට ඇඟිල්ලෙන් අනි මි. කෝපි කෝප්පය බිම තබන ඈ සුරතින් මා රැළි ගැහුණු හිසකේ අවුස්ස යි. මම එය වැළැක්වීම ට යත්න නො දර මි. ඈ පැතුම් මට වැළැක්විය නො හැකි නිසාවෙනි. ඇගේ කොමළ නෝක්කාඩු අසා සිටීම විනෝදාංශයක් බවට පත් ව තිබේ.

"අපේ ගෙදර එන්නත් පුළුවන්. මයෙත් එක්ක බුදියගන්නත් පුළුවන්. මගේ බැල්කනියට වෙලා මගේ කෝපි බිබී මගේම බ්ලැන්කට් එක යට මගෙත් එක්කම ඉර උදාව බලන්නත් පුළුවන්. මං අහන ප්‍රශ්නේකට උත්තර දෙන්න තමා මේ දාර්ශනික බබාට බැරි."

"හරි හරි. උත්තර දෙන්නම්. කොණ්ඩේ අල්ලන්නෑ කියලා පොරොන්දු වෙන්න ඕනේ."

"කොණ්ඩේ අල්ලන්නේ උත්තර නොදෙනවට දඬුවමක් විදියට. ඉතින් ඔයා මෙතන කොන්දේසි දාන්න පුළුවන් තත්වෙක නෙවෙයි ඉන්නේ. අනික ඔච්චර අගේ කරාට ඔයා මං අහපු ප්‍රශ්නේට උත්තරයක් දන්නෙත් නෑ. ආදරේ කියන්නේ මොකද්ද කියලා දන්නෙත් නෑ. එයාට ඔයා හිතන තරම් ඔයා ආදරේත් නෑ."

"ඇයි එහෙම කියන්නේ?"

"මොකද මම ඔයාව දන්න නිසා. ඔයා දිව පිච්චෙනවට බයේ පළවෙනි උගුර බොන්නෙත් නෑ. කෝපි වලට ආස නැති නිසා පස්සේ බොන්නෙත් නෑ. නොබී ඉන්න එක හොඳ නැති නිසා හොඳටම ඇල් වුනාට පස්සෙ එක උගුරට බීලා දානවා. පස්සේ ඒක මම දැක්කා කියලා දැනුනම ඒක ගැන මොකක් හරි කතාවක් කියලා බේරෙන්න හදනවා."

"ඔයා මං ගැන ඔච්චර දන්නවනම් ඇයි ප්‍රශ්න අහන්නේ?"

"ඔයා ඔයා ගැන දන්නේ මොනවද බලන්න."

"මොකුත්ම නෑ. මොකුත් නැත්තෙත් නෑ. පොඩ්ඩක් දන්නවා. ඉස්සෙල්ලා රෝස පාටට අර කන්ද උඩින් තිබුණු අහස දැන් දම් පාට වුනු එකට ආසයි කියලා දන්නවා. තව ටිකකින් ඒ කන්ද අස්සෙන් ඉර එලියට එද්දි මුළු අහසම රත්තරන් පාට වෙනවට ආසයි කියලා දන්නවා. ඒ අහස දිහා මෙතනට වෙලා ඔයා එක්ක බලන් ඉන්න ආසයි කියලා දන්නවා. ඔයා එක්ක ඕනේ තැනක ඕනේ දෙයක් දිහා බලන් ඉන්න ආසයි කියලත් දන්නවා."

"මෙතන මම වෙනුවට එයා හිටියනම් ඊට වඩා ආසයි කියලා දන්නව ද?"

"ඇයි ඔයා හැමදේම ඔයා සහ එයාගේ අතර ප්‍රශ්නයක් කරගන්නේ?"

"එහෙම කරගන්නේ නෑ. මට එයාව අදාලත් නෑ. ඒත් ඔයා එක තැන හිර වෙලා ඉන්නවා දකින්න දුකයි. එයා ඔය අපිට පේන ඉර දිහාම ඔයාගෙම යාලුවා එක්ක එයාගේ ගෙදරට වෙලා බලාගෙන ඉන්නවා ඇති. සමහරවිට නැතුව ඇති. ඒත් එයා ඔයා අතෑරලා වෙන තැනකට යද්දි ඔයා ඔයා අතෑරලා එයා දිහා බලන් ඉන්න එක ගැනයි මට දුක."

මම ඊට පිළිතුරු නොබඳි මි. සිතිවිලි පස් හය ලක්ෂයක් මසිත නන්නත්තාර කරව යි. නිවුනු කෝපි කොප්පය එක හුස්මට බීගෙන බීගෙන ය මි. ඉනික්බිති ඊයේ රැයෙන් ඉතිරි බීඩියක් දල්වා ගනි මි. ඇගේ ලයිටරයෙනි.

ඈ දකුණතට ඇදී අතැඟිලි තුඩු වලින් දොර වසා දම යි. දුම ගෙතුලට යනවා ට අකමැති විය යුතු ය. මම ඒ ගැන නො සිතුවේ මන්දැයි නොදනි මි. ඇය ද ඇගේ මිල අධික වූ පන්දමක් දල්වා ගනී. සූර්යාලෝකය දෑස් මතට වඩින තෙක් පන්දම් අග වූ රඹැති එලිය සඳැල්ල අලෝකමත් කරව යි.

ඇය මගේ දකුණු කොපුල සිප ගනි යි.

"ඔයා දන්නවා නේද කවුරු නැති වුනත් ඔයාට මම ඉන්නවා කියලා?"

"ඔව්. මමත්.."

"ශ්හ්හ්හ්.... අන්න ඉර හෙමින් අපි දිහා එබිලා බලනවා."

ඇය මා ලවනත සිප ගනි යි. මම ද ඇය සිප ගනි මි. මම ම විසින් ම සිත්තම් කළ සිතිවිලි සිතියම් මැද අතරමන් වෙ මි. ඇය මට ප්‍රේම නො කරන බව නිරතුරුව පවසයි. මම ද ඇය ට ප්‍රේම නොකර මි. ආදරය යනු කුමක්දැ යි මට නො වැටහේ. කිසිදින නො දැන සිටියා යැයි හැඟී ය යි. ඇය ට තුටු විට මට ද තුටු නම්, ඇය හඬන විට මට ද දුක නම්, ප්‍රේමය ට තව අවැසි කොන්දේසි කිමදැ යි මම නො දනිමි.

"ඇයි මොකද වුනේ?"

ඇය අසයි. ඇගේ ඇස් මගේ ඇසිනුත් එසේම අසනු මට ඇසේ.

"මොකුත් නෑ."

මම නැවත ඈ සිපගනි මි.

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි