Tuesday, December 29, 2015

සීතලම නැති සීත කාලෙක...

කළුවර නැති රෑ අහස වහගෙන පැතිරිලා ඉන්න වළාකුලක ඈත කොහේ හරි ඉඳලා හුඟාක් දුර හෙමින් සැරේ හුලඟේ ඒ මේ අත ගිහින් මහ පොලොව ගාවට ආපු පුංචි සීතල හිම කැටයක් එක පාරට මගේ ඇහේ ගියා. එච්චර ම සීතලක් නොවුනු සීත කාලේ අහම්බෙන් ආපු සීතල ම සීතල දවසක, උදේ උණුහුමට පොරෝගෙන ඇඳේ නිදාගෙන නොඉඳ ගල් වෙවී වැඩට යද්දි, හිම වුනත් ඇවිත් ඇණයක් වෙනකොට එපා වෙනවා. නත්තල් දවසට පහුවෙනිදා නිසාත් ඒ වෙනකන් හිම බිංදුවක් වත් වැටිලා නොතිබුනු නිසාත් හිම කැටයක් වැටුනාම දැනෙන්න ඕනේ සතුට ඇහැක් අස්සට ම ගිහින් නැති කලානේ. මොනව කරන්නද...


කැම්පස් එකේ විභාග ටික ඉවර වෙලා නිස්කලංකව ගෙදරට වෙලා චුට්ටක් බුදියගන්න කියලා හිතන් හිටියට හැමදාම උදේ පහට හයට විතර බොස් කතා කරලා වැඩට එන්න කිව්වම දුවන්න ඕනේ. මොළේ සෛල එලියට පනිනකන් පාඩම් කරලා කෝපි, තේ, රෙඩ් බුල් වල තියෙන කැෆීන් වලින් දුවලා රෑට නින්ද යන්නෑ කියලා බොස් දන්නවා. ඉතින් උදේ වැඩට කෝල් කළාම නිදි නෑ කියලා දන්නවා. ( බොස් ව ෆේස් බුක් එකේ ඇඩ් නොකර ඉන්න තිබ්බේ. දැන් ඉතින් පරක්කු වැඩියි. මොනව කරන්නද... )


උසම උස බිල්ඩිමක එකොළොස්වෙනි තට්ටුවේ ඉඳල උදේ නැගිටලා එලිය බලද්දි ඉර පායන්න කලියෙන් මුළු නගරෙම මීදුමෙන් වැහිලා තියෙනවා. විනාඩියෙන් විනාඩිය වීදි ලාම්පු වලින් එන ඒ හොල්මන් තැඹිලි පාටින්, දම් පාටකට හැරිලා, ඉරේ රත්තරන් පාටට හැරෙද්දි මම බාත් රූම් එකේ දත් මදිනවා. ඒ නිසා හැමදාම මිස් වෙනවා. ඊට පස්සේ උණු ම උණු වතුරෙන් නාලා එලියට ඇවිත් වෙලාව බැලුවම බස් එක අල්ලගන්න පරක්කු වැඩිනම් කෝච්චියට දුවනවා. ඒ වෙද්දිත් හැමතැනම වැහිලා තියෙන මීදුම අස්සෙන් ලාවට මතුවුන ලයිට් එලි පොඩ්ඩ පොඩ්ඩ කෝච්චියක් බවට හැරෙද්දි, බස් පාස් එක ගෙදර තියලා ආවා කියල මතක් වෙද්දි තරු පේනවා. අහු වුනොත් ඩොලර් එකසිය ගාණක් ( බර ගාණක් ) ගෙවන්න වෙනවා. ඒත් එච්චර උදෙන් චෙක් කරන මිනිස්සු එන්නෙ නැති බව දන්න නිසා කෝච්චියට නැගලා වැඩට යනවා. වෙන මොනව කරන්නද...


මේ එන්ජිනියරින් ඩිග්‍රියක් බදාගෙන රෑ දවල් පාඩම් කරලා සිකුරාදා රෑට යාලුවෝ සෙට් වෙලා සෙනසුරාදයි ඉරිදයි වැඩට යන එක දැන් පුරුදු වෙලා. ඩිග්‍රිය ඉවර වුනා ම රස්සාවක් හොයාගෙන, ඊට අවුරුදු කීපෙකට පස්සෙ තව රස්සාවක් හොයාගෙන, ඊට පස්සෙ ඊට වැඩියෙන් ගෙවන තව එකක් හොයාගෙන, කසාද බැඳලා ළමයි හදාගෙන බලාගෙන අවුරුදු තිස් පහක් හතලිහක් රස්සා කරලා ලොකු ගෙයක් අරන් වාහන අරන් පෙන්ශන් යන්න තමා ප්ලෑන් එක. එතකොට ඔය නිවාඩුවක් හම්බුන වෙලාවක කොහේ හරි ලොකු හෝටලේක ගිහින් කාමරේට වෙලා බුදියගන්න පුලුවන්නේ. ඒ අතරේ ඔය කොහේ හරි දුප්පත් ළමයෙක්ට පොත් පත් අරන් දීලා හිත සතුටු කරගන්නත් පුලුවන්. ඒ අස්සේ ළමයි පොඩ්ඩ පොඩ්ඩ ලොකු වෙද්දි එහා ගෙදර පොඩි එවුන්ට වඩා ලකුණු ගන්න කියන්න. ඇයි ඉතින් හොඳම ටියුශන් පන්ති වලටත් දාන්න එපැයි.


මොකද ශිෂ්‍යත්ව විභාගේ තියෙන්නෙම පන්තියේ අනිත් ළමයින්ට වඩා ලකුණු ගන්නනේ. පාස් ෆේල් වගේ යල් පැන ගිය පරණ මිමි වලින් ළමයින්ව අද කාලේ මනින්න පුලුවන්ද. සුන්දරම මිම්ම පන්තියේ අනිත් ළමයි නේ. අවංකව ම ඒ ළමයින්ටත් වඩා එයාලාගේ අම්මලා. අම්මලටත් වඩා අම්මලගේ මූණු ඊලඟ සැරේ හම්බුනා ම.


ඔය ටික කරද්දි මගදි මැරුනොත් අඩු ගානේ ටිකක් කාලා බීලා හරි ඉන්න ඕනේ නිසා තමයි රෙස්ටුරන්ට් එකේ වැඩට යන්නේ. ඒක හරි සුන්දර තැනක්. උදේම ඇතුලට ගියාම නිදි කිරා වැටෙන වේට්‍රස් කෙනෙක් වීදුරුවක් බිඳලා ඇහැරෙන එක, බොස් මොකක් හරි මෝඩ ජෝක් එකක් කරලා මහ හයියෙන් හිනා වෙන එක. මමත් ග්‍රිල් එක උඩ නිදි කිරා වැටෙද්දි ග්‍රිල් එකේ අත වැදිලා පිච්චිලා ඇහැරෙන එක වගේ දේවල් ආතල්. ඒ හැමදේටම වඩා දැනෙන්නේ මම ඇවිත් පැයකින් වගේ කේට්ලින් වැඩට එන එක.


මගේ පිවිතුරු සත්‍ය ප්‍රේමය ( ලව් ඔෆ් මයි ලයිෆ් ) මට රිප්ලයි කරන එක නැවත්තුවට පස්සේ මගේ දුක කතා කරන්න ඉන්නේ එයා විතරයි. කොණ්ඩෙ කොටට කපලා පැත්තට පීරලා එද්දි එයාගේ ඇස් ලස්සනට පේනවා. ඒ ඇස් මේ නගරේ වගේ. හුඟාක් දේවල් සිද්ද වෙනවා කියලා දන්නවා. ඒත් උදේ පාන්දර මීදුමෙන් වැහිලා වගේ. කතා නොකර කතා කරන්න පුලුවන් ඒ ඇස් වලට. ඔරලෝසුවක් වගේ වගේ වැඩ කරන නාඩි බැට්‍රි බැහැලා වගේ අවුල් යනවා එයා හිනා වුනා ම. රෙස්ටුරන්ට් එකේ දිරාගෙන යන වහලට හඳ පෑයුවා වගේ. එයා එක්ක කතා කරන්න හදනකොට ම හැමදාම වගේ බොස්ගෙන් හොඳට අහගන්න වෙන එක මට කිසිම ප්‍රශ්නයක් නෑ දැන්. ඉස්සර ඇත්තට බැන්නට බොස් වුනත් දැන් එච්චර ම ගණන් ගන්නැද්ද මන්දා. හොයාගන්න ඕනෙ නෑ.


අපේ  පිඟන් හෝදන එක්කෙනා කොන්ගෝ වල හිටපු ආගමන නිලධාරියෙක්. අපේ සැන්ඩ්විච් හදන එක්කෙනා පකිස්තානේ දේශපාලන පවුලක ඩයල් එකක්. මගේ බොස් ඉන්දියාවේ නර්ස් කෙනෙක්. පිටිපස්සේ එලවලු කපන දෙන්නගෙන් එක්කෙනෙක් මේ නගරේ ඉන්න හොඳම ෆ්ලැමෙන්කෝ ප්ලේයර් කෙනෙක්, අනිත් එක්කෙනා පී.එච්.ඩී එකක් කරනවා. අපි හැමෝම ආතල් එකේ අවම වැටුපට මෙතන වැඩ.


මං කියන්නේ වයසට ගියාම සැප විඳින්න හිතන් දුක් විඳින මිනිස්සුන්ට නෑ කියලා හිතෙන ආතල් එකක් අපිට තියෙනවා. මොකද වැඩ කරන තැනක සහෝදර බැඳීමක් තියෙන එක වටිනවා. එකාට එකා කපාගෙන ලොකු ලොකු සල්ලි හොයාගෙන තේරුමක් නැති භෞතික බඩු භාණ්ඩ උඩ මැරෙන්න යන ලොකු ලොකු ඔලු තියෙන මිනිස්සුන්ට වඩා කොන්ද එහෙම කඩාගෙන ඇඟපත රිදෙද්දි කස්ටමර් ලට ඔම්ලට් එකක් දාන සහෝදරවරු වටිනවා. ලෙඩක් දුකක් වුනාම වුනත් හොයලා බලන උන්.


එක දවසක් කේට්ලින් මගෙන් අහනවා මගේ ජීවිතේ මට වැඩිපුරම ඕනේ දේ මොකද්ද කියලා. මට 'ඔයා' කියලා කියන්න හිතුනට මම කිව්වේ නෑ. මොකද මට වැඩිපුර ම ඕනේ එයා නෙවෙයි. අනිත් එක්කෙනා. අර මම කලින් කිව්වේ. ඉතින් මම කිව්වා මට ඕනේ ඩිග්‍රිය කියලා. එයා කියනවා එයාටත් එහෙමලු. ස්ථාවර ආදායමක් තියෙනම් හැමදේම ලේසියිලු. එයාට එතකොට එයාගේ පාඩුවේ චිත්‍ර අඳින්න පුලුවන් ලු. එයාට ලස්සනට චිත්‍ර අඳින්න පුලුවන්. අමුතු රූප අඳිනවා. එයාට සින්දු කියන්නත් පුලුවන් ලු. මට එයා සින්දු කියද්දි ගිටාර් එක ගහන්න කතා කලා. ( ඒත් එයාට සින්දු කියන්න බෑ. මම ඒක එයාට කියන්න ගියේ නෑ )


මම මේ දැනුත් වැඩට යන ගමන්. අර වැටුනු හිම රොඩ්ඩ නිසා ඇහැ කැවෙනවා කැවෙනවා වගේ. නිදිත් මතයි ඉන්න බෑ. ඒත් ඉතින් අද හවසට වැඩ ඉවර වෙලා ජීවත් වෙන්න පටන් ගන්නවා කියලා වැඩට යනවා. ( හැමදාම එහෙමයි ) කැම්පස් යන දවස් වල ඒක ඉවර වෙලා ජීවත් වෙන්න හිතනවා. ඒ නිසා මේ ටිකේ ආතල් එකේ ඉන්නවා. පෙන්ශන් එක ආපු කාලෙක ගන්න හිතන් ඉන්න කාර් එක ගන්න කලියෙන් මැරිලා ගියොතින් හිටිය ටිකේ හරි සතුටින් හිටියා කියලා හිත හදාගන්න පුලුවන්නේ.


අන්න බස් එක එනවා. අඩිය ඉක්මන් කරලා ස්ටොප් එකට යන්න ඕනේ. කොහොමත් මැරෙන දවසට මගේ ඩිග්‍රියයි, කේට්ලිනුයි, මේ රෙස්ටුරන්ට් එකයි අරන් යන්නෙ නැති නිසා පොඩි කෙටි කතාවක් ලියන්න හිතුවා. මේක තමයි ඒක.

ප.ලි. ඉන්දියාවේ කෑල්ලක්ය කියලා මෙහේ උන් හිතන් ඉන්න අපේ රට ලෝක සිතියමේ උඩට ගෙනාව, තරුණ පරපුරේ ලෝක ප්‍රජාව අතර සුප්‍රසිද්ධ, අපිම උඩට ගෙනාව, අපේ අතිගරු ජනාධිපති තුමාට තමා පිදුම.

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි