Saturday, December 19, 2015

ඉපැරණි කවක පද මත...

මම හුඟක් ඉස්සර
විද්‍යා පොතක පිටුවක
මුල්ලක ලියපු
කවියක
එකම එක පදයක
ඔබේ ඔය සොඳුරු රුව
ඉබේට ම
මතුවෙලා තිබුණා

ඔය ගැඹුරු දෑස් යුග
වල ගැසුනු මුදු කොපුල්
පාටලී දෙතොල් යුග
මැවූ සුමිහිරි වදන්
අදටත් දැනෙන විදිහකට
මමවත් නොහඳුනන
අමුතු ම අමුතු බසකින්
එදා විද්‍යා පොතේ පිටු අතර
අපිලිවෙල අකුරින්
ලියවිලා තිබුණා

සීතලට මගෙ ම අත්
මට ම නොම දැනෙන හවසක
උණුහුමක් හොය හොයා කියැවූ
පරණ කවියෙහි වචන
හිතේ කිසියම් කොණක
කැටයම් වෙලා තිබුණා

සොඳුරුම සොඳුරු වූ
ඒ මතක කැටයම
අද යම් තැනක
අඳුරක
මුළු ලොවට ම හොරෙන්
ඉකි සල සලා හිටියා...

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි