Tuesday, October 20, 2015

මොනොලොග්

"උඹ දන්නව ද මගේ ජීවිතේ මම තේරුම් ගත්තු වැදගත්ම දේ මොකද්ද කියලා? ඒ තමයි මම කියන්නේ කෙටිකතාවක චරිතයක් කියන එක. එතනින් පිට මම කියන යතාර්ථය පවතින්නෙ නෑ. උඹ සහ මම අතර තියෙන ලොකුම සහ ලස්සනම වෙනස ඒක. ඒත් ඒකෙ තියෙන වැදගත්ම දේ තමයි මගේ පැවැත්මට තියෙන එකම හේතුව මතවාදයක් උඹ ඉස්සරහ දිග අරින එක කියල මම දැනගැනීම. එතනදි උඹ කියන මගේ ලෝකේ තියෙන කල්පිතය, ( උඹේ ලෝකේ යතාර්ථය ), නැතුව මගේ පැවැත්මේ ඇති තේරුමක් නෑ. ඒක හරි 'ට්‍රැජික් රියලිසේශන්' එකක්.


මට හුඟාක් ආසයි මචන් උඹලා වගේ ලෞකිකව ජීවත් වෙන්න. උදාහරණයක් විදියට ගත්තොත් උඹ එක්ක බාර් එකකට වැදිලා පයින්ට් එකක් ගහන්න. සිගරට් එකක් මොන වගේ ද කියලා විඳින්න. ඒත් මගේ පැවැත්ම තුල ඒ වගේ ලෞකික දේවල් වලට ඉඩ නෑ. සිද්ධාර්ත කුමාරයට, යේසුස් දරුවට වගේ අයටත් තිබුනු ඒ නිදහස මට නෑ. ඒ අය හුඟාක් මිනිස්සු ඉස්සරහ මම වගේ පිටු අතරේ හිර වෙන්න ඉස්සර එයාලටත් ජීවිතයක් තියෙන්න ඇති. ප්‍රබන්ධ වල ලස්සනට සිත්තම් වෙච්ච සුරංගනා කතා නොවෙන ලස්සන ජීවිතයක්.


ඒත් මට තියෙනවා ලොකු සතුටක්. ඒ තමා උඹ මේ වෙලාවේ උඹේ ලෝකෙ තියෙන හැම බැඳීමකින් ම රාජකාරියකින් ම වගකීමකින් ම මිදිලා මගේ ලෝකේ මයෙ එක්ක තනි වෙලා ඉන්න එක. එතනදි මට හරයක් වැටෙනවා. උඹටත් මොනවා හරි මගෙන් ලැබෙනවා කියලා හිතෙනවා. මොකද අන්තිමේදි මේ ලෝකේ වැදගත් කියල තියෙන්නේ අපේ අනිත් අය එක්ක තියෙන බැඳීම් විතරයි. ලෝක ඉතිහාසය කියන කතාව ඇතුලේ කොච්චර පුංචි සහය චරිතයක් වුනත් අපිට වටිනා කමක් දෙන්නේ ඒ අපි අනිත් අය එක්ක තියෙන බැඳීම් නේද.


අන්තිමට අපි යද්දි ඔය මොකුත් අරගෙන යන්නේ නෑ තමයි. ඒත් අපි ඉන්න පොඩිම පොඩි කාලෙදි අපිට පොඩ්ඩක් හරි සතුටක් සැනසීමක් තියෙන්න එපැයි. 'ෆයිට් ක්ලබ්' කියවලා තියෙද? ඒක ලියපු චක් පොලනික් කියනවා එක තැනකදි, “ලොකු කාල පරාසයක් දිහා බැලුවම අපි ආදරය කරපු හැමෝම එක්කෝ අපිට ආපිට ආදරය නොකරනවා, එහෙම නැත්නම් මැරෙනවා” කියලා. ඒක ගැන මට තියෙන විග්‍රහය තමයි පොඩි කාල පරාසයකදි අපිට තියෙන බැඳීම් අපි ආරක්ෂා කරගන්න ඕන කියන එක.


මොකද අපි ජීවත් වෙන්නෙ තත්පරේකින් පංගුවක්වත් නොවෙන මොහොතක. උඹ ඒක කියවපු වෙලාව ඉතිහාසෙන් කොටසක් දැන්. ඒ වැය වෙච්ච කාලය මොන දෙයියෙකුටවත් ගන්න බෑ නෙ. මම නම් කියන්නේ අපි හැම තත්පරේකින් ම උපරිම ප්‍රයෝජනය ගන්න ඕනේ. අපි හුඟාක් අය ජීවත් වෙන්නේ එක්කෝ අතීතයේ, නැත්නම් අනාගතයේ. අතීතයේ මඟ ඇරුණු දේවල් වල වත් අනාගතයේ සිදු නොවුනු දේවල් වලවත් ජීවිතේ නෑ කියල තේරුම් ගන්න දවසට කෝච්චිය ගිහින් ඉවරයි. අපි මේ දැන් කියන නිමේශය විඳින්න ඕනේ කියලා මම හිතන්නේ ඒ නිසා.


මගේ ආදරණීය යක්ෂණී ඇතුලේ වෙඩ්ඩා කියනවා "ජීවිතය කියන්නේ මඟ හැරුණු දේවල් වල සහ මඟ ඇරෙන්න නියමිත දේවල් වල ඓක්‍යට" කියලා. එක අතකට අපිට නොලැබුනු දේවල් උඩ රැඳිලා ඉඳීමට වඩා ජීවිතේ ගැන ඒ දැක්මෙන් බලලා හිත හදාගෙන ජීවත් වෙන එක කොච්චර සොඳුරු ද. දුක හිතෙන වෙලාවට අපි ෆෝන් එකෙන් යාලුවෙක්ට කතා කරන එක හරි සින්දුවක් දාගෙන හිත වෙනහකට යොමු කරන එකට වඩා එක තැන ඉඳගෙන තනියම දුක් වෙන එක සුන්දරයි කියල මට හිතෙන්නේ. ඒක අපි අපි අඳුරගන්න මොහොතක් වෙනවා.


දුක කියන එක මාර සාපේක්ෂයි නේද? උඹට මට, වගේ 'ප්‍රිවිලෙජ්' එකක් නැති මිනිස්සු කී දාහක් මේ ලෝකේ මැරෙනවාද? අපි අපේ ලෝකේ තියෙන ප්‍රශ්න 'තියරයිස්' කරද්දි, දුක සාපේක්ෂයි කියලා හිතද්දි එහෙම හිතන්න විනාඩියක් ගත්තොත් කන්න නැතිව මැරෙන මිනිස්සු මේ ලෝකේ ඉන්නවා කියන එක කොච්චර ලොකු ප්‍රශ්නයක්ද. අපි අපිට වඩා දුක් විඳින මිනිස්සු ගැන අපේ හිතට එන එක පවා වාරණය කරලා තියෙන එක කොච්චර ආත්මාර්ථකාමී ද?


මුලු ලෝකේ ඉන්න හැම මිනිහෙක්ම එක සමානයි කියලා බුදු හාමුදුරුවෝ කියපු දේ අපිට නොතේරෙන එක මොන තරම් අභාග්‍යයක්ද බං. අපි බුදු හාමුදුරුවොන්ගේ ධර්මයේ නමින් ම අනිත් මිනිස්සුන්ට වෛර කරද්දි තව මොන කතාවක් ද ඒ ගැන. මේ උද්දච්ච 'අපේ කම' කියන එක උඩ අනිත් මිනිස්සු හෑල්ලුවට ලක් කරන එක සමාජගත වෙන එකම කොච්චර වරදක් ද. අශෝක හඳගම 'සින්තටික් සිහිනෙදි' කියන කතාවක් 'පැරෆ්‍රේස්' කලොත් අපේ කම, මගේ රට කියන එකෙන් පටන් අරන්, මගේ ජාතිය වෙලා, උඩ රට, පහතරට දකුණ වෙලා, මගේ පළාත වෙලා, මගේ ගම වෙලා, මගේ පවුල වෙලා මම වෙලා නතර වෙන දෙයක්. අන්තිමට ඉතුරු වෙන්නේ හුඟාක් ලොකු හිස්ම හිස් මමත්වයක් විතරයි. අපි අපි ගැන හිතද්දි ඒ කුලකයට බිලියන 7ක් මිනිස්සු ඇතුල් කළොත් නේද ඒක හරි අවිහිංසාවක් වෙන්නේ.


අපි සමාජෙක දුක් විඳින මිනිහෙක් අනිත් මිනිස්සුන්ගේ තත්වයට පත් කරන්න නේද සටන් කළ යුත්තේ? දුක් විඳින ජන කොට්ටාස වලට සරණක් වෙන්න, අපේ සතුට පිණිස නෙවෙයි, ඔවුන්ගේ යහපත පිණිස. අපි උපතේ ඉඳලා ඉගෙන ගන්න ඕනේ සහකම්පනය (එම්පති ) කියන එක නේද. එම්පති කියන එක සමාජ ගත වුනු සමාජයක් කොච්චර සුන්දර වේවිද. චිමමන්ඩා අඩිචි කියනවා සත්‍ය ප්‍රජාතන්ත්‍රවාදයක සලකුණ වෙන්නේ බහුතරයේ පාලනය නෙවෙයි, සුළුතරයේ ආරක්ෂාව කියලා. එහෙම සමාජ ක්‍රමයක් අපිට ලැබේවිද කවමදාකවත්.


මට දැනෙන මගේ දුක උඹ එක්ක මෙහෙම කීවේ මගේ හිතට සැනසීමක් ලැබේවි කියලා හිතාගෙන. උඹටත් හිතන්න දෙයක් ලැබෙන්න ඇති කියල හිතනවා. අවංකවම හිත ඇතුලේ කැරකෙන රිදෙන දේවල් හුඟාක් තියෙනවා උඹට වෙලාවක හෙමිහිට කියන්න. චාල්ස් බුකොව්ස්කි කියනවා හුඟාක් මිනිස්සු අසාධාරණය ගැන හිතන්නේ ඒක තමන්ට වුනාම කියලා. කොච්චර නම් ඇත්තද. තේරෙන්නේ නෑ ඇයි මට මේ දේවල් මෙහෙම හිතෙන්නේ කියලා.


ඒත් මට දුක මට හිතෙන හැමදේම මට නොහිති, මේ කතාව ලියන හාදයට හිතෙන එක ගැන. මගේ තියෙන මත මගේම මත නොවී වෙන කෙනෙක් නිසා මගේ ඔලුව ඇතුලට ආපු මත වීම. එහෙම වෙලාවට මට හිතෙනවා උඹේ යි මගේ යි ඇත්තටම ඇති වෙනසක් නෑ කියලා.”

1 comment:

  1. Sira mchn uba lagadi idan godak honda deval kiyawala tiyenawa .shreshta minissunge katin pitawechcha deval lassanata pavichchi krla ..matakada mchn dawasak api kata una iscole poth godak tiyena hinda wena kisima deyak kiyawanna wela ne kiyala. Dan nan eeta wada godak diyunui. Edath uba bismark ge quote ekak kiwwa matakai. "........with blood & eye " mta antima tika matakai.me kiyana de kriyawata path karanna ikmanatama puluwan wei. Budu saranai.

    ReplyDelete

හිතුන දේ දැනගන්න ආසයි