Monday, July 6, 2015

අරහෙ මෙහෙ පල කල විවිධ.. 3

1.
මල නැති
මළ ගසක
කටු මත
මල උරමි

හිස මිස
හිත නොමැති
ගතක ට
පැණි පොවමි

සුමිහිරි
සුවඳ මත
සුපසන්
රස සොයමි

දිදුළණ
දෙනෙත මත
ඇවිලෙන
ගිනි දවමි

2.
පෙරඹරින් හිරු
අදත් පායා
නැඟී බඹ
දස දහස් ගණනින්
උදෑසන ලොව
අරුත් පිරි
තව අලුත් දිනයක
රුවක් මැව්වද
නිදා හිඳිනෙමි
අවදි වන්නට
ලොවක් ඉතිරිව
නොමැති දවසක..
තවත් එක
නිර අර්ථ උදයක..
පියාඹන්නට කලින් කැපි
තටු දෙකක් මත
උවනතත් රඳවා
සිනාසෙන්නට කලින් ඇඳි
වත්සොනින් සැරසුනු
හසක් හඬවමි...
මුවාවන්නට ගසක් නැති
දිය බිඳක් නැති
ගිම් කලක් උදෙසා
වියෝවෙන්නට කලක් ඇති
දා තඩින් වැඩි
නුග රුකක් මරණෙමි

3.
හැඟීම් සමුදායක අතරමං වී හුන්නෙමි. වත්මනෙහි පිළිසරණක් නොමැති වූ හෙයින් අතීතය ට අතපාන්න ට වීමි. අතීතයත් වර්තමානයත් යා කරන්නා වූ ස්කයිපීය පාලමක මත හිඳ ගලා නොයනා දිවිය දෙස බැලීමි. සැබැවින්ම ස්ථවික ය. පාලම මතට අතීතයෙන් පැමිණි අවතාරයක් මා අතීතය දෙසට කැන්දාගෙන යාමට තැත් කරන්නට විය. කෙතරම් සුන්දර වුවද අතීතය අතීතයක් ම මිස අනාගතයක් නොවේ. පාලම මත්තෙහිම මහළු වෙමින් හිඳියෙමි.

4.
නින්දත් නොනින්දත් අතර වූ අඳුරු අවකාශයක සිරවී සිටිමි. රාත්‍රිය කෙටි බැවිනි. මධු මතින් උදම් වී කැළඹි ගත සිත නිසසල කිරීමට වෙර දරමින් හිඳිමි. සසල ය. මුලු ලොවම යම් චලනයක පැටලී ඇතිවාක් මෙනි. සැම රැයම ය. අතිශයින් වෙහෙස වී සිටිමි.

5.
සඳුද ඔබ
පායන්න පෙර අඳුරේ
ගිලී කිමිදී වැසී ගිය...
නිල් තරුද ඔබ
හිනැහෙන්න පෙර අහසේ
වලා මත්තෙන් නිවී ගිය...

මලක් වෙලා ඔබ පිපෙන්න පෙර කතරේ
කෙම් බිමක් නැතිව දිය පොදක් නැතිව
හිතුමතේ ඇවිද හිඳියෙම්...
තනි මලක් කිමද හිස් හදක් මතට
සරු බිමක් නොවන, ගිනියම්...

සඳත් නිවී තරු නිවී ගියත් පිටුපා
ඔබ සඳක් විලස තරු කැළක් විලස
බැබලුනේ කිමද නොදනිම්...
මධු විතක් විලස හද උදම් කළද
හෙමි හෙමින් මියෙනු දුටුවෙම්...

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි