Tuesday, April 7, 2015

කිරුළ පතා

කිසිදිනෙක නොපැලැඳි නොකිලිටි කිරුළක් පතා පාරට බැසීමි. හිරු මුදුන් වී ඇති හෙයින් නලළත මත්තෙහි දහඩිය බිඳු උපදියි. මේ ග්‍රීශ්මයෙහි උණුහුම මිස වෙන කිසිවක් කෙසේ අපේක්ෂා කරම්ද? 'ඒ කිරුළ සොයා මිස ගෙදර නො එමි'යි සිතීමි. අඩියක් දෙකක් තබත්ම මා ඉදිරියෙහි ඉළන්දාරී තරුණයෙකි. කැප් තොප්පියක් හිසෙහි හොවා ජංගම දුරකතනකින් සවන් සරසාගත් ඔහු කෙරෙන් මා කිසි දිනෙක අත් නොවිඳි නවීනත්වයක් වෑහේ. රාජ කුමරෙකු විය හැකි වුවද මා සොයන්නාවූ කිරුළ මේ තරුණයා සතුව ඇත්දැයි සිතීම විහිලුවකි. දෛවය සරමෙහි ජගතෙකු වුව, ගෙදරින් එළියට බට වහා මා සෙවූ දෑ දෑතට දීම දෛවයාගේ උපායක් නොවන බැව් මම දැන සිටීමි. එනමුදු හේ මා පළමුව මුන ගැසුනු තැනැත්තා වේ. සුභ හෝ අසුභ පුවතක් මිස මඟ හැර යා යුතු නිමිත්තක් නොවේ. මම ඔහු දෙස බලා මා සොයනා කිරුළ පිළිබඳ විමසීමි.

"බබා පොඩ්ඩක් ඉන්නකො." ඔහු දුරකතනයෙහි අනෙක් පස වී යැයි මා නිගමනය කළ බබෙකුට පවසනු මා සවන් වැකිණි.

"අයියා මාර කතා නේ මගෙනුත් අහන්නේ. ඇයි බං මං ඔටුන්නක් හංගගෙන ඉන්නවා වගේ ද? ඔටුන්නක් හොයන්න ඕනේ නම් මාලිගාවක් පැත්තේ පලයං."

"නෑ ස්වීටි මේ පොරක්."

ඔහු මා පසු කර යත්ම නැවත දුරකතනය තුළට පිවිසෙන්නට විය. මා පසුපස හැරී ඔහු දුරකතනය තුළට හෙමි හෙමින් ඇදී නොපෙනී යනු බලා සිටියෙමි. දුරකතනයක් මිස තරුණයෙක් නැති වන තෙක් බලා සිටි මම ඔහු කී පරිදි මාලිගාවක් සොයා ගමන් ඇරඹීමි. කිරුළක් අවැසි බව මිස එය කෙසේ සොයම්දැයි මම නොදැන සිටියෙමි. සහස් රැයක් මේ කිරුළ සොයා ගන්නා අයුරු සිතූවත් ඇරඹි හිස් මනසාවාකාශයෙහි ම නතර වූ හෙයින් පිඹුරු පත් රහිතව ම පාරට බැසීමි. ස්වප්න සුවාසූදහසක් හා නිදි නොමැති රැය විසල් ගණනකට පසු ව මා මට අවැසි දේ සොයා ගමන් අරඹා ඇත. මම මා ගැනම සතුටු වීමි.

තාර පාර රත්වී රබර් සෙරෙප්පු ගිනියම් කරයි. නළලෙහි ජනිත දහඩිය ගංගාවෝ බෙල්ල ද බදාගෙන ඉඹියි. සමහර ස්වේද වර්ශා වතින් ගිලිහී ඩෙනිම තෙත් කරයි. කමිසය ද පෙඟී ඇත. මම නගරය පසු කර යන්නට වූවෙමි. හිරු වළාකුළකින් වැසී යත්ම නිසොල්මන් මාවතකට මම පිවිසුනෙමි. විසල් වූ මන්දිර අහස අරභයා නැගී ඇත. මාවතෙහි පා නැඟි මා වැන්නවුන් හට එය දකිනු නොහැකි වන සේ බැඳී ඇති ප්‍රාකාර වේ. තැන තැන විදෘශ්‍ය කැමරා තනිකමේ පාලුව විඳිනු වුව මා හැර මිනිස් පුළුටක සලකුණකුදු නැත. 'කවුරුන් හෝ හඹා යනු වෙනුවට කිසිවකු මතු වන තෙක් බලා හිඳිමි'යි සිතා මම උස්ව නිමවා තිබූ තාප්පයකට බර දීමි.

හිරු අවර දෙසට හෙමින් ඇදෙයි. තව තවත් දහඩිය මා නළල් තලයෙහි වූ උල්පත් සමූහයෙන් වෑහෙයි. එක ඉරියව්වක සිට හිරි වැටුනු දෙපා වාරුව අරිනු වස් මම නොයෙක් නොයෙක් අත ඇවිදීමි. කුමනාතකින් හෝ මිනිසෙකු මතු වේ යයි පැතීමි. මිනිස් පුළුටක් තවම නැත. මා පසුකර දිලිසි දිලිසී ක්ශිතිජයෙන් ඔබ්බට පියැඹි මොටර් රථයක් දෙකක් පමණි. මිනිසකු පැදවූවා සේ නොවේ. මං තීරුවේ සීරුවට ප්‍රෝග්‍රෑම් කළා සේ ඇදී යයි.

එවැනි වූ එක කාරයක් මා ඉදිරිපිට නතර විය. අඳුරු කළ වීදුරුව මෑත්වී යමෙකු මා දෙස බලන්නට විය. හැඳ සිටි සුදුම සුදු ජාතික ඇඳුමට ඔබින සුදුම සුදු කෙසර මත පැටලී තිබූ උපැස් යුවල ගලවා මා වෙත හේ සිනා පෑවේය. මම සිනා වීමි. ඒ සිනාවෙහි ව්‍යාජ හෝ අව්‍යාජ බවක් නැත. මගේ සිනාවේද එසේ නොවන්නට ඇත. මම නොදුටු නිසා නොදනිමි.

"පුතා මාව හම්බෙන්නද ආවේ? හදිසියක් නෙවෙයි නම් ඔෆිස් එකට යන්න තිබුනානේ. අද මහජන දිනේ. මම ඒක ඉවර වෙලා ගෙදර එන ගමන්."

ඔහු මා හට පුතා යැයි ඇමතීය. මුහුණ බලා වයස කීම මා සතු කුසලතාවයක් නොවේ. එනමුදු ඒ ආමන්ත්‍රණයෙහි අමුතු වූ හෘදයාංගම බවක් ගැබ්ව තිබිණි. ඔහු ඇමතිය යුත්තේ කෙළෙසදැ යි මම නොදැන සිටියෙමි. මනසට පෙර මුව ඉක්මන් විය.

"සර් මේ හදිසියක් නම් නෙවෙයි. පොඩි දෙයක් දැනගන්න පුලුවන්ද?"

මම මා සොයන කිරුළ පිළිබඳ පැනය ඔහු වෙත යොමු කළෙමි. සැබැවින්ම ඔහුගෙන් පිළිතුරක් මම බලාපොරොත්තු වීමි. මෙතරම් උස්වූ ප්‍රාකාර වලින් මුරකොට මෙතරම් විසල් මාලිගා ඉදිකොට විසී නම් හේ කිරුළ සොයාගෙන ඇතැයි මම සිතීමි. නමුදු ඔහු ගොත ගැසුවා පමණෙකි.

"පුතා වයිෆ් බලාගෙන ඉන්නවා ගෙදර. දැන් මම ගෙදර දුවලා ටිකක් ඇල වෙන්න ඕනේ. කුමාරසිරි ට යන්න කියන්නත් ඕනේ ඔය ගෙදරට ඕනේ බඩු ටික අරන් එන්න. නැත්නම් අද රෑට ත් පිටින් කන්න වෙන්නේ. අපි නගරේ ඉපදිච්ච මිනිස්සු නෙවෙයි පුතා. හැමදාම පිටින් කන්න පුලුවන්ද මං කියන්නේ? අනික මේ මිනිස්සු කියන දුක් කන්දරාවක් අහං ඉඳලා කොහොම නම් ගෙදර ගිහින් ඒ ගැන නොහිතා ඉන්නද? මේවා මොන දෙයියෝ එක්ක කතා කරන්නද. අර ගෑණි අරහෙන්... මොකක් ගැනද තමුසේ ඇහුවේ?"

"ආ නෑ සර් හරි අවුලක් නෑ."

මා එසේ කියත්ම ඒ මෝටර් රථය ඉතා වේගයෙන් ඇදී යන්නට විය. ඈත කෙළවරක වේගය බාල කළ ඒ රථය විවර වූ ගේට්ටුවකින් ක්ශිතිජය තුළට හැරෙනු මම බලා සිටියෙමි. ඒ කාරය එහි සිටි මිනිසාත් සමඟ ගේට්ටුව මත්තෙන් ක්ශිතිජය දෙසට අතුරුදන් වත්ම මම නගරය දෙසට නැවත ගමන් කළෙමි. ඒ වටපිටාවෙහි හුදු මාලිගා මිස ඒ තුළ කිරුළු නැති බව මට වැටහිණ. මාලිගා යනු කිරුළු ඇති තැන් නොව, කිරුළු නැති බැව් ලොවෙන් සඟවන තැන් බව මට කෙමෙන් අවබෝධ වන්නට විය. යටිපතුලටද දාඩිය දා ඇති බැවින් මා පැළැඳි සෙරෙප්පු දෙක සිසිල් වී සිටියද මේ මාවත ට පැමිණියාට නොසතුටින් සිටින බව මම දුටිමි. තාර පාරේ උණුහුමට කොන්ක්‍රීට් වනයේ ගිනි සිසිලද එක්වූ හෝරාවක ඒ දැනුනු වේදනාව දැනුනේ සෙරෙප්පුවට ද මට ද යන්න මම කල්පනා නොකළෙමි.

ඉතින් නගරයට සේන්දු වූ මා හිස හැරුණු අතේ ඇවිදීමි. මහ වීදියේ සල් පිල් වලින් මිලදී ගැනුමට තිබූ එක කිරුළක් වත් මා සෙවූ කිරුළ නොවේ. අනේක විද හැඩයෙන් හා නා නා වූ වර්ණයෙන් යුතුව නිමවා තිබූ කිරුළු මා ඇද බැඳ ගත්තත් මිලක් ලියා තිබූ කිරුළක් මා සොයන කිරුළ විය නොහැකි බැව් මම දැන සිටියෙමි. දුහුවිලි වැදී පැරණි වී ගිය කිරුළු අතරෙහි අලුතින්ම චීනයෙන් ගෙන්වූ කිරුළු ද විය. මා කා දමන කාලය ගැන සිතා එතැනින් නික්මීමි.

නගරයෙහි මැද සිනමා ශාලාවෙකි. එහි කිරුළු පිළිබඳ චිත්‍රපටයකි. එ අසලින් ගමන් ගත් විට එතුළින් නික්මෙන හිනා හඬ සවන් පුරවයි. ඒ තුළ හිඳින්නෝ මුදල් දී කිරුළක් ගැන මැවූ චංචල රූපයක් දෙස බලා සිනාසෙත්. සතුටු වෙත්. ඉතින් මා කිරුළ ඇත්තේ එතැනද? මම නොදන්නෙමි. මම නගරය වටා තව තවත් ඇවිදීමි. පවස නිවා ගනු වස් පාර අයිනේ වූ කඩයකට ගොඩ වීමි. වේටර් මල්ලි ගෙනත් දුන් වතුර බොර පාට ය. පාට කිම වුව වතුර වතුර ය. මම එක උගුරට වීදුරුව අවසන් කළෙමි.

බිත්තර රොටියක් කන්නට හිත මනාප ය. නමුදු සාක්කුව අමනාප ය. ප්ලේන් ආප්පයක් රැගෙන එලියට බැසීමි. ඉතිරි රුපියලක් දෙකක් විය. මා ඉදිරියට කොහේ දෝ සිටි පැමිණි යාචකයෙකුට මම ඉතිරිය දුනිමි. ඔහු වෙතින් මා නික්ම යාමට සිතුවත් ඔහු මදෙස බලා සිටියි. රැලි වැටුනු හමත් තැන තැන ඉතිරි ශ්වේත කෙස් රොඩුත් මා දෙස බලා හිනැහෙයි. මා ගැන යමක් දන්නා පරිද්දෙනි.

"ඔය හෙවිල්ල තේරුමක් නෑ මහත්තයා."

"මොන හෙවිල්ලද?"

"ඔය මහත්තයා හොයන හෙවිල්ල. අපිත් ඔය වයස පහු කරලා මහත්තයෝ ආවේ. අපිත් ඔය එක එක දේවල් ඒ කාලේ හෙව්වා. සමහරුන්ට හම්බුනා. සමහරුන්ට නෑ. හම්බුන සමහරු ඒවා රකින්නම වයසට ගියා. තවත් සමහරු ඒවා රකින්න යාලුවෝ තරහ කාරයෝ කරගත්තා. හම්බුනේ නැති උන් තාම හොයනවා. අපි තාම හොයනවා. ඉන්නේ ටික කාලයයි මහත්තයෝ. හම රැලි වැටෙන්න ඉස්සරලා පිනක් දහමක් කරගන්න. ඔය හොයන එක මත්තේ නැහෙන්නෙපා."

"ඒත්..."

ඔහු මට පිටුපා ඇවිදින්ට විය. මා ඔහු හට කියන කිසිවක් නෑසුනාක් මෙනි. ඔහු පසුපස ගොස් දෙඩූවද මා කියන දෑ නොවැටහෙන්නාක් මෙන් ඔහු ඔහුගේ පාඩුවේ අවිදියි. මා බලසිටියදී ඔහු මට හුඟක් ඈතින් පාදිකාව මත හිඳ ගත්තේය. ඔහු එතැන බිම තබා තිබූ සස්ටජන් ටින් එකක් තුළට මා දුන් කාසි කිහිපය දමද්දී සලාං හඬක් නැගින. ඔහු හෙමෙන් ඒ දෙසට එබී එතුළට පිවිසෙන්නට විය. අමාරුවෙන් දෑතට දෙපය වෙරදී හේ කාසි ටින් එක තුළට කිමිදී මා දර්ශන පථයෙන් මැකී ගියේය. මා තුළ සංකූලතාවයකි. මා මෙතෙක් කර ඇති වෑයම නිශ්ඵල ද?

මම හිස හැරුණු අතේ ඇවිදින්නට වීමි. මුහුදු සුළං හැමි හෙයින් ගතට දැනුනු විඩා පෙර මෙන් දරුණු නොවීය. හෙමි හෙමින් රැල්ලෙන් රැල්ල මුහුද හඬමින් උන්නාය. එසේ වූයේ කිම්දැයි නොදන්නාමුත් රැල්ල පාගා ඒ සුසුම් අපවිත්‍ර නොකළ යුතුයැයි මට දැනෙන්නට වූයෙන් මම මුහුද අද්දරින් බැහැරට ඇවිදීමි. හිරුද අවරගිරට විශ්‍රාම යමින් සිටියේ ය. ග්‍රීශ්මයෙහි ඔවර් ටයිම් කරන හෙයින් හිරුද විඩාපත් වී ඇති සෙයකි. මම දස අතේ කල්පනා කරන්නට වීමි. මා විසින් සාක්ෂාත් කරගත් කිසිවකුදු නැත. මා මගේම වෑයම අසමත් වී ඇත.

සසල වී තිබූ හිත නිසල වෙද්දී නගරයෙන් ඔබ්බට ඇවිද තිබේ. මහ සයූරේ සාක්ෂියක්වත් මා අසල නොවිණ. හරිත වර්ණයෙන් මා දෝවනය වෙමින් තිබිණ. වෙල් යායක අග වූ බොරලු පාරක මා දෙපා සමබරතාව සොයමින් සිටියහ. ඉතින් මා සෙවූ කිරුළ කෙසේ නම් මේ තෙරක් නොපෙනෙන හරිත සමුදුරක් වූ වෙල් යායෙහි සොයන්නද? මම පාර අද්දරින් ගලා ගිය දොළ පාර අසල වූ ගලක ඈඳිගතිමි. බිම තිබී අහුලගත්තාවූ බොරළු දොළට වීසි කරමින් එහි වූ මත්ස්‍යයින් ඔබ මොබ පීනනු බලා සිටියෙමි.

මා අද්දරින් දිනයෙහි වැඩ නිමවී නිවෙස කරා යන ගොවියෙකි. මඩ සෝදා ගත් කළ ගොවියා රජකමටත් සුදුසුය යන්න මා අසා ඇති කියමනකි. එසේ නම් ඔහු සතුව මා සොයන කිරුළ තිබිය හැකි ද? කුතුහළය මා දෑස් අන්ධ කරලන්ට විය. දොළ පාරින් මූණ කට සෝදාගත් හේ නිවස කරා යාමට පාරට බට විගස මා ඔහු වෙතට සේන්දු වීමි.

"මල්ලි මේ හරියේ නෙවෙයි වගේ. ටවුමේ ඉඳල ද ආවේ?" ඔහු ඇසීය.

"ඔව් අයියේ."

"මල්ලි කාලද ඉන්නේ? ටිකක් රෑ වේගෙනත් එනවා."

"අනේ නෑ. කාලා නෙවෙයි ඉන්නේ."

"බඩගිනිත් ඇතිනේ. එන්ට අපේ ගෙවල් පැත්තේ. ගෙදර උන්දෑ උයලා එහෙම කාරිය ඇත්තේ."

එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ නොහැකි කමත්, තිබූ අධික වූ බඩගින්නත්, කිරුළ ඇති යන හැඟීමෙන් ඇති වූ තණ්හාවත් නිසා මම ඔහු සමඟ ඔහුගේ නිවස වෙත ගියෙමි. කුඹුරට මායිම් වී දොළට සමාන්තරව අනෙක් පසෙන් වූ පුංචි ඉඩමක වූ සරල නිවසෙකට හේ මා කැන්දාගෙන ගියේය. ගෙදර ආ විගස බිරිඳ හඳුන්වා දුන් ඔහු නිවස තුළට ගොස් යමක් රැගෙන එන්නට විය.

"මල්ලියේ උඹට ෆෝන් කට්ටක් තියෙද? මෙන්න මේ නොම්මරේ ට කෝල් එකක් අරන් දීපන් පුලුවන්නම්. අපේ පුතා ටවුමෙ නෙව ඉන්නේ."

"ආ හරි මෙන්න" මම දුරකතන ඔහුට දෙමින් කීවෙමි.

"මල්ලියේ තේ එකක් ඕනෙද? කෑම හැදිලා ඉවර වෙන්න තව ටිකක් වෙලා යාවි." ඔහුගේ බිරිඳ අප සිටි තැනට එමින් කී ය.

"ආ නෑ අක්කේ කරදර වෙන්නෙපා. දැන් තේ බිව්වොත් කන්න අමාරු වෙනවා නේ?"

ඈ "හරි හරි" කියමින් නැවත කුස්සිය දෙසට වන්නට වූවා ය.

ඔහු මා හට නැවත දුරකතනය දෙමින් සංවාදයකට හරි බරි ගැසෙනු මා දුටුමි. සෙල් ෆෝනය සාක්කුවෙහි බහාලූ මා, කිරුළ ගැන කෙසේ අසම්දැයි සිතන්න ට වීමි. මේ කුඩා නිවසෙහි කිරුළක් වී යැයි මා කුමට සිතුවේදැයි හැඟී යන්නට විය. මා සොයන කිරුළ කුමක්ද යන්න ගැන මටම නිච්චියක් නැති සෙයකි.

"මල්ලි ඕකා තමයි අපිට හිටපු එකම එකා. මේ ගෙදර ඔටුන්න හිමි කුමාරයා තමයි ඌ. ඒත් මට ඌට උගේ හීනේ අරන් දෙන්න සල්ලි නෑ. ඌ නගරෙට ගිහින් රස්සාවක් කරලා සල්ලි හොයනවා දොස්තර කෙනෙක් වෙන්න විභාගේ ලියන්න. ටවුමේ මොනවද කොරන්නේ කියලා අපිට කියන්නේ නෑ නෙව. මොනවා මොනවා හරි කරලා දවසක දොස්තර කෙනෙක් වෙනවා නම් තමා අපි දෙන්නට සතුටක් තියෙන්නේ. මේ කුඹුර කරලා හම්බෙන සතේ දෙක උනත් මං ඌට අරින්නේ ඒ නිසා. ඌ හිනා වෙලා ඉන්නව නම් අපිත් හිනා වෙලා ඉන්නව නේ."

ඔහු කියන්නට විය. කෑම පිඟන් ද අප වෙතට ලැබුනු අතර ඔහුගේ බිරිඳ ද අප හා එක් විය. ඉතාම රසවත් බත් පතක් මා කන්නට වීමි. කුඹුරෙන් ගත් නැවුම් සහලින් පිසූවක් විය යුතුය. බඩගින්නේ සිටි මා හට රජ බොජුනක් සේ දැනුනු මේ අහර කටට දෙකට මා විසින් අවසන් වෙන ලදී. ඔහු මදෙස බලා සිනාසුණි.

"මල්ලි බඩගින්නේ වගේ ඉඳලා තියෙන්නේ. කෝ දෙන්න පිඟාන තව ටිකක් බෙදාන එන්න. අපේ කෑම රහ ද? ඔය නගරේ තියෙන දහ ජරාව කාලා කාලා මෙහෙමා වේලක් කෑවම රහවිඳින එක පුදුමෙකුත් නෙවෙයි එක අතකට. කෝම හරි ඇයි මේ පැත්තේ එන්නේ? එහේ ජීවිතේ එපා වෙලාද?"

"එපා වෙලාම නෙවෙයි" මම කිරුළ සොයා යෑම ගැන නැවත බත් බෙදා ගනිමින් ඔහුට පැවසීමි. මුලු දවස පුරා සෙවූවත් සොයා ගත නොහැකි වූ ඒ කිරුළ ඔහු සතුව ඇත්දැයි අසන්නට වත්ම ඔහු කටහඬ අවදි කලේය.

"මල්ලි උඹ ඔය කරන වැඩේ හරියන්නේ නෑ මං හිතන්නේ. උඹට ඕනේ ඔටුන්නක් නම් ඒක හොය හොයා ඇවිදින්නැතුව ඒ උඹ ම හදාගනින්. උඹේ කාලය, උඹේ දාඩිය මහන්සිය, උඹේ ශ්‍රමය දාලා ඔය ඔටුන්න හදාගනින්. එහෙම නැතුව තැන තැන ඇවිදලා මිනිස්සුන්ගෙන් ඇහුව පලියට උඹට ඔටුනු හම්බෙන්නෙ නෑ. අනික උඹේ ඔලුවේ දිග පළල අනිත් මිනිස්සු දන්නේ නෑ නෙ. උඹ හොයන විදියේ ඔටුන්නක් ලැබුනත් ඔලුවේ දාගන්න බැරි නම් ඒකෙන් මක් කොරන්නද? මම දාඩිය මහන්සියෙන් හදා ගත්තු ඔටුන්න උකස් කරලා මම මගේ පුතාට අරිනව එයාගෙම ඔටුන්නක් හදාගන්න. මම දන්නේ නෑ එයාගේ ඔටුන්න මොන වගේද කියලා. මගේ ඔටුන්නට වඩා, මම හිතාන උන්නු ඔටුන්නට වඩා හුඟාක් වෙනස් ඇති. ඒත් එයා එයාගේ ඔටුන්න මිසක් මගේ ඔටුන්න දාලා හරි යන්නෙ නෑ නෙ මහත්තයෝ. ඔය මහත්තයා හොයන ඔටුන්න මේ ගෙදර නම් නෑ."

මතු සම්බන්ධයි (ලියපු ඉතුරු ටිකක් මැකුණා.. ආයේ ලියවෙයිද දන්නෑ)

Monday, April 6, 2015

අරහෙ මෙහෙ පල කල විවිධ.. 2

1.
මේ ලිපිය
එපා ඔබ
කියවන්න
සීතලට
හිරි ගඩු පිපුන
උණුහුමට
දහඩිය පෙඟුන
ඇත්තම ඇත්ත
ඔබට නොව
මේ ලිපිය
දෙව් රුවක්
සේ ඇඳුන
සුරඟනක්
ලෙස හැදුන
සිය බඹක් උස
ඔබේ පිළිරුවට
මේ ලිපිය...

2.
එදා
අපි ඇවිද්දි
මේ දෙවටෙහි ම
මල් පිපිලා
තිබුනා
මතකද
එක එක පාට
සුවඳ මල්
අපි එක්ක
හිනා වුනු හැටි...
ඒ මල්
පරවෙලා...
නාඳුනන
අලුත් මල්
යනෙන වෙන
අය එක්ක හිනැහිලා
ඒත් අද
ඒ මලුත්
ඊට පෙර
පිපි මලුත්
මේ දෙවට මත
එකට පරවෙලා..
අපි හෙමින් ඇවිදිමු
වැටුනු මළ පෙති
පාගන්නැතුව...

3.
ප්‍රේමය උත්ථානය විය
මිය ගොස් නොබෝ කලකින්
පෙට්ටි වී වල වැදී සිටි හෙයින්
වලපල්ලෙහිම නැවත මිය ගියා ය.
එතැන් සිට තවමත්
ඒ වලපල්ලෙහිම
ඒ සොඳුරු ප්‍රේමය
නැවත නැවතත් මිය යයි,
උත්ථානය කර කර ම.

4.
වස විස වදන් නෙක නෙක මුවින් ගිලිහෙත්
ගත නැත රණින් නිමකලබරණ සැමවිට
සිත සිත මහත් වෙර බැඳ ඇතත් මොනවට
නොම කළ අයුත් වෙත කිම පසුව වැලපුම්

5.
ප්‍රේමය 
රිහර්සල් කර 
නැත.
කෙළින්ම
වේදිකාව මත
ඇත..
හිත...

6.
හදවත
කැටපත් පවුරකි.
නමුදු කවි නොමැති...