Sunday, March 29, 2015

වසන්තය ට පෙර පිපි ඔබ

ඔබ වසන්තය ට පෙර නොපිපි නම්
ගණ වනන්තරය ට මෙපිටින්
මුළු අහස් තලයම සරමින්
ලොව පහන් කරන ට තිබුනි ද

පෙර ගිමන් කලකදි නිහඬව
පිපි අකල් කුසුමක මුකුලිත
මළ දිරායන්න ට මෙපිටින්
ඔබ කිනම් පවකට පිපුනි ද

ලොව තුරා ධූප හු පතුරා
හද පුරා හසරැල් මැව්වත්
හිම තුරා තනිවම විකසිත
අද වෙලා මිය යනු කිමට ද

හද හොරා ගෙන ගිය විගසින්
ලෙය නුරා නොදුවනු දැනුන ද
මම කඩා දමනට නොහැකිව
මල මළානික වෙනු බැලුව ද

Sunday, March 15, 2015

නිවහනක් තැනූයෙමි

වලාකුළකට ඔබ්බෙන්
නිවහනක් තැනූයෙමි,
අඹර ගෑවෙන දුරකට
වඩා උස්වූ ස්වප්න විලසට..

ශීත සෘතුව අභියස
හදවත පැමිණ පවසයි
තනන ලද මා වහසල
ගෙයක් මිස නිවහනක් නොවු වග..

නිවහනක් යනු
හදවත රැඳුනු ඉම නම්
ලෝ අග අනෙක් පසෙහිය
හදවත තැනූ නැවතුම

බිත්ති හතරක මැද
කුරුටු ගානෙමි කොළවල
අඳුරක රැඳුනු තනිකම

වසන්තය එයි දවසක
මේ තද ශීත සෘතුව
ගියත් තව තව දිගටම

මගේ ගේ පැල මත්තට
වඩී හදවත දවසක
වලාවෙන් පොළොවට බට...