Thursday, October 30, 2014

අරහෙ මෙහෙ පල කල විවිධ..

1.
මකරන්ද
ඉතිරී
මකරන් ද
මතුවී
මනබැන්ද
පෙම...
ළපැතින් ද
වැගිරී
නෙතඟින් ද
ගිලිහී
දෙපතුල් හි
සීතලට
විසිරෙයි...


2. 
හඳ නැගෙන විටෙක දි
හද මඬල ඉඩ ම දි

3. 
කිවිඳියේ කිමිදියේ කිමද මා මුහුද යට
දිවිදියේ ඉදිරියේ නැවතිලා වෙහෙසකට
ඇඳිරියේ ඇවිදියේ සොය සොයා මොහොතකට
කිඳුරියේ රැවටියේ 
කිම එදා සිහිනෙකට

4. 
 ඔබ 
මගේ හද මත්තෙහි
මියැදුනු දා

මම 
ඔබේ හද අද්දර
උත්ථානය 
කළෙමි.

5.
කඳුලැල්ල සෙනෙහෙ ඉරණම
මඳනල්ල මතදි මැරුණම
ලියවිල්ල නොමැති කවිකම
හසරැල්ල යට ද මළගම...

6.
හදවතෙහි මහත් වූ සිදුරකින් ලෙහෙ රූරා හැලෙන්නට විය. ඉනික්බිති එදෙස බලා සිටි ඈ ක්ලාන්තව පොළෝ මාතාව සිප ගනිත් ම මම ඈ දෑස් දෙස බැලීමි. මළාණිකව අඩවන්වූ දෙනෙතින් සෙනෙහෙ දෝරේ ගලා යතත් මා කෙරෙහි වූ වෛරය ද මා ඉදිරියෙහි වැක්කෙරෙනු මම දුටිමි. මා හදෙහි වූ සිදුර ඈ හද ඝාතනය කිරීමෙන් පසු මා විසින් ම කපා ගත්තකි. තම ප්‍රාණයටත් බිඳක් ඔබ්බට මා විශ්වාස කොට ඇගේ ප්‍රාණය මගේ අත තැබූ ඕ සිහිසුන් ව ම ඉදිරියෙහි වැටී සිටියා ය. 

7.
ජීවිතය වනාහි දියෙන් ගොඩ ගත් මත්ස්‍යයෙකු වැන්න. දිනෙන් දින ක්‍රමයෙන් මරණයට ළං වන්නෝ, ජීවිතය තුළ හුස්ම ඇල්ලීම ට අඛණ්ඩ දැඟලිල්ලක යෙදී සිටිත්. 

8.
වෙස් මූණු දාගැනිල්ල හරි අමුතු දෙයක්. අනුන් ඉස්සරහ කොච්චර වෙස් මූණු දාගත්තත් දාගෙන ඉන්න ලොකුම වෙස් මූණ තමන් ව තමන්ගෙන් වහගන්නයි. එහෙම අය කණ්ණාඩියක් ඉස්සරහට වත් නොයන්නෙ ඒක තමන්ට ම අහුවෙයි කියල තියෙන බයට.

9. 
බස් සිංදු වලට මම කැමති ඒවයේ තියෙන අවංක කමට. ගැඹුරු අර්ථ තියෙන ලස්සන නිර්මාණ දාහක් අතරේ වුනත් බස් සිංදු ලොකු මිනිස්සු ප්‍රමාණයක් අතරේ රැඳෙන්නේ ඒ නිසා වෙන්න ඇති. පෞද්ගලිකව මම ඒ සිංදු රසවිඳින්නේ නැත්තේ සංගීතමය කාරණාවකටවත් නිර්මානාත්මක බවේ අඩුවකටවත් නෙවෙයි, අර අවංක කමටමයි කියලා මට දැනෙන වාර අනන්තයි.

"රිදී පාට කළ පා තුඩු පයට පෑගිලා 

නපුරු වී ඔයා මා සළලෙකුට සම කලා
සුමුදු මුදු දෙපා තුඩුවල පහස නොදැනෙනා
යකඩ පය මගේ නුඹ ලඟ හඬා වලපෙනා"

දැනෙන්නේ නැද්ද?

10.
මට මගේ නගරේ ගැන හැඟීමක් දැනුනේ අවුරුදු තුනක් ජීවත් වුනාට පස්සේ කියන එක ගැන තාමත් පුදුමයි. ඒ හැඟීමත් මොන වගේද කියාගන්න, නිර්වචනය කරගන්න අමාරු වුනේ මම තාම එතන ජීවත් වෙන නිසා වෙන්න ඇති. ඕනෙම දෙයක් ගැන දැනෙන හැඟීමක් හරියට විස්තර කරන්න පුලුවන් අපිට ඒ දේ නැති වුනායින් පස්සේ කියන දේ මට මුලින්ම තේරුණේ අන්තිම වතාවට මම ඉස්කෝලේ ඉඳලා අපේ ගෙදරට කන්ද දිගේ පල්ලෙහාට ඇවිදිද්දි. මට දරාගන්න හුඟාක් අමාරු වෙයි කියලා මම හිතුවාට, කම්මුල් දිගේ කඳුලක් දෙකක් ගලාගෙන ගියාට මට දැනුනේ දුකකට වඩා හිස් කමක්.

11.
උඩු රැවුලේ
කෙස් අග
පද්දන
ඔබේ හුස්මට..
වියලුණු දෙතොල්
අභියස
ලා උණුහුමට
මත්වෙන..
රක්ත පැහැ සායම
තැවරුණු..
සියුමැලි දෙතොල
මත්තෙම..
මා තොල් වුවද
පටලැවෙයි
අරගෙන හදෙහි
ගින්දර..
ජීවුහ රැගෙන
තෙත් කරයි ඈ
වියලුණු මගේ
දෙතොලඟ..
ඇතුලු වන්නට
පළමුව,
ආත්මය ඔබේ...
වැලඳගති
වෙව්ලන
මගේ හදවත....

12.
සටන් විරාමයක සිටිනා
ප්‍රතිවිරුද්ධ
හමුදා කඳවුරු දෙකකි
ප්‍රේමවන්තයින්, පෙම්වතියන්..
සංසාරයේ මුදුන් මුල්
ඇදෙන්නට පෙර නැඟුනු
කුරිරු යුදයක
කොටස් කරුවන් වේ ඔවුහු..
හැම භවයකදීම
වරක් දෙවරක්, 
නැවතත් යුද වදින..
යුද්ධය තුළම මිය යන...
එහෙත් අද
සටන් විරාමයකය..
අමෝරා නැත ආයුධ
වැසි නොමැත ගිනිකෙළි..
නමුදු ඇත පවනෙහි
දෙහදක නැගෙන උණුහුම..

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි