Monday, October 13, 2014

ආත්මය පාවා දුන් පසු ද වේදනා දැනේ.

මා මිදුලට නැවත බැසීමි. මෙවර මා නිරුවතිනි. පෙර මෙන් නොව මම රාත්‍රියට ද, අන්ධකාරයට බියෙන් තැති ගත්තෙමි. ඒ මා ලේ පිපාසිත ආත්මය මේ නිම්නය සරනු දන්නා නිසාමය. එය කෙසේ සිදුවූවාදැයි මම ද නොදනිමි. එක් රැයක් මත්තෙන් මම ආත්ම ඝාතකයකු බවට පත්ව සිටියෙමි. මාගේ මිනීමරු ආත්මයේ රුදිරයෙන් තෙත් වූ දෑත් මා නිරුවත් ගෙල සෙමින් ග්‍රහණය කරගනිමින් සිටියහ. විලාප දෙනු තරම් වේදනාවක් දැනුනත් මා හට සරණ යාමට කූඹියකුදු සැතපුම් දහස් ගණනක වපසරියක නොසිටියහ. එ බැව් මා දැන සිටියෙමි.


මිදුලෙහි තැන තැන විසිර තිබූ උල් බොරළු මා සමඟ වෛරයකින් සිටියාක් වැන්න. මා ආත්මය මා හඹා එද්දී දිව යන මා නිරුවත් දෙපතුල් කප කපා වේදනාවෙන් පුරවාලන්ට ඔවුහු සමත් ය. මකුණු දැල් වැඩී තුරු ලතාවෙහි ගිලී යමින් තිබූ ඉපැරණි ඉස්තෝප්පුවද මීට සාක්ෂිය. එහෙත් මා ආත්මය හා එක්වී මා මරා දැමීමට කුමන්ත්‍රණය කරනා අමාවක අහසට ද මදෙපතුල් ගැන නිච්චියක්වත් නොමැති සෙයකි. මෙයින් මා විමතියට පත් නොවීමි.


මා ආත්මය ඉදිරියෙහි ලිලිපුට්ටකු සේ මා ගත පණ අදිනු දැනෙන්නට විය. මුළු රාත්‍රියම පතාක යෝධයෙකු මෙන් මා හට එරිහි වී නැගී සිටිද්දී මා සිතෙහි සමාධියට සිටියේ මගේම වූ ඉපැරණි අලංකෘත සඳක මතක නටඹුන් පමණෙකි. වේදනාවෙන් රිදුම් කන මතකයට ඒ නටඹුන් වුවද සැනසීමක්ම විය. යම් දිනෙක මම, මා ආත්මයට මධු පොවා ස්නේහයෙහි මලෙවියන් ඝාතනයට දක්කන විට මේ සඳ කොහි සිටිත් දැයි මම ම නොදනිමි. ඒ සඳ මා පසු පසම සිටින්නටත් ඇත. රාත්‍රිය රවටා අමාවක ලෝගුවක යට සිටි මට ඒ සඳ මඟහැරී යාම ද විමතියට නොකරුණකි.


මා ඒ සඳ ද මරා නොදැමුවේ ඒ සඳට ඇති සෙනෙහසක් නිසාවෙන් දැයි මම නොදනිමි. මා බේබදු ආත්මය පාපයෙන් මෝක්ෂය කිරීමට දැරූ වෙර බරක් වී වාරු නැති වී ඈ මිය ගියා වන්නට ඇත. මා රාත්‍රියෙහි සඳක් නැත. එලියක් නොමැත. හදවත ගිනිගත්ම වෙරි හිඳුනු මා ආත්මය මා කෙරේ වෛරයෙන් මා හඹා එන්නට විය. මම තව තවත් තව තවත් සඳේ පිහිට පැතීමි. වරක් මාගේම වූ සඳෙහි සොහොන් කොත වෙත දිවීමි.


අඳුර ගිලගත් මා මිදුලෙන් නික්ම ගණ වණයක මැදින් මම දිවීමි. මා ආත්මයෙහි ඇවිස්සී තිබූ වරදකාරී හැඟීම් මා පසු පස වේගයෙන් හඹා ආහ. පෙරමුණක් නොදුටුමුත් හිස හැරුණු අත දිවීම හැර විකල්පයක් නොවුනු හෝරාවක මා නිරුවත් ගතෙහි කටු රිකිලි ඇණී රුධිරය විදින්නට වන වගක් වත් මට නොවැටහිණ. මා පෙණහැලි තුලට විඩාපත් දුහුවිලි වළාවක් ඇදී යතත් මරණ බිය මා ඉදිරියට තෙරපන ලද්දාහු ය. මා ආත්මය මධු මතින් මැරි සියලු ප්‍රාණීහු ද එසේම නොවන්නට ඇත්දැ යි එ වෙළෙහි මට සිත් විය. හුස්ම දුමක් වී වාතලයට එක් වන ඒ ශීතල නිමේශයෙහි මදෙනෙතින් මතු වූ කඳුලු කැට ද ගල් වී දෙරණ සිප ගති.


මා හදවතට ගිනි ඇවිලී දැවී අළුවුණ අතීතයක් මත්තෙ හි මා මිය යමින් සිටියෙමි. මා ආත්මය පාවාදීමට මත්තෙන් මා ගිනි තබා අළු කළ සියලු හදවත් ගැන සිතිය යුතු විය. නමුදු ඒ විලාපයන් මා කණ දෙදරවන තෙක් මහදවත උණු නොවූයේ උප්පත්තියෙන් ගෙන ආ සාහසික කමක් නිසාවෙන් විය යුතුය. වරක් මා සඳ හා තනි වුනු තැනිතලා තණ බිමක මාගේ සඳෙහි බෂ්මාවශේෂ තැන්පත් කර ඇති බවක් මා සිතෙහි මුල්ලක රැඳුනු මතකයක අංශුමාත්‍රයක් මට කියා පෑවේය. කිසිදු බලාපොරොත්තුවකින් තොර අමාවක ගොම්මන් රැයක නිසැක මරණයට මත්තෙන් ඉපැරණි පෙමක නටඹුන් සොයා එතණ බිම් කෙරෙහි යැයි සිතූ අතකට මම දුවන්නට වීමි.


මරණ බිය ඉක්මවා ගිය නොස්ටැල්ජියානු අරමුණක වස්තු බීජයෙන් මෝහණය වුනු විඩාබර මා දෙපා පෙරටත් නොදෙවෙනි වේගයෙන් තව තවත් කිපී වෛරයෙන් දිදුලන මා ආත්මයට ද වෙට්ටු දමන්නට සමත් විය. කළු තිරයක් එලා ඇති සෙයක් ගත් අන්ධකාර රාත්‍රියේ ඔච්චම් මධ්‍යයෙහි දීම මම දිනෙක අමතක කළ තණ නිල්ල වෙත පැමිණියෙමි. කෙතරම් නොපෙනුනත්, කෙතරම් අඳුරු වුවත්, කෙතරම් අන්ධ වුවත් ඈතින් පෙනුණු ඒ සොහොන් කොත මා දෑසින් පිවිස හදවත වූ තැනෙහි චණ්ඩ මාරුත මවන්නට විය. වැක්කෙරෙන්නාවූ රුහිරයෙන් වෙළුණු මා ආත්මයට ද සිතන්නට ද නොහැකි තරම් වූ වේගයකින් මා ඒ වෙත දිව ගියෙමි. සොහොන් කොත මත්තෙහි සුපුෂ්මිත වූ නොයෙක් කුසුම්හු ප්‍රේමාන්විත වූ රොමාන්තික පුසුඹකින් ලොව සනසන්නාවූහ. මා ඒ සොහොන් කොත ඉදිරියෙහි දණින් වැටීමි. මා හට සරණක් නැතත් මා කළ පාපයන් ඉදිරියෙහි මිය යන්ට පෙර මසිත ප්‍රේමයෙන් දෝවනය වන්නාක් මෙන් විය. නමුදු සැනසීමක් නම් කොයි.


ඒ සඳ උත්ථානය කොට ද යුගයකි. ඉනික්බිති මා දෑස් පියා ගතිමි.

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි