Thursday, September 11, 2014

මුහුද දෙබෑ කරන (a genuine experiment)

මුහුද දෙබෑ කරන
අහස පොළොව සිඹින
රටට සෙනෙහෙ පුදන
ලෙයින් මසින් සැදුන


සැබෑ පියෙකි දරු දහසකි
මුළු රටේම ලේ නෑයෙකි
අපේ එකෙකි සිය දහසකි
මේ දරු හට මව් දහසකි


මේ වචන ඇහෙන වාරයක් වාරයක් ගානෙ හදවත කීරි ගැහෙන හීතලක් ඇඟ පුරාම දුවනවා. තුවක්කුවක් කරේ එල්ලගෙන රටක් වෙනුවෙන් කියාගෙන අවුරුදු විසි ගාණක් මගේ ආපහු ගන්න බැරි තරුණ කාලේ ගෙවිලා ගිය හැටි මතක් වෙනවා. අනන්ත වාරයක් මගේ අතේ තිබුණ වෙපන් එක පරිස්සමට ගලවලා හෙමින් සුද්ද කරලා ආපහු තිබුණු විදියටම හයි කරන්න ඇති මම ඒ කාලෙ පුරාවට. “සතුරෙක්” ඉස්සරහට මැරෙන්න වුනත් කියාගෙන ගියපු ඒ හයිය අදටත් හිතට දෙන අභිමානය මට කියාගන්න තේරෙන්නෙ නෑ. ඒත් අර වචන මගේ හිතට ගේන්නෙ අභිමානෙකට වඩා හරි වික්ෂිප්ත හැඟීමක්. හැඟීම් ගොඩක්. ඒ වචන මගේ හිතට අරං එන්නෙ මම හුඟාක් අමාරුවෙන් අමතක කරන්න හදන මතකයක් විතරයි.

මීට අවුරුදු කීයකට කලින් වුනාද කියන්න මට හරියටම මතක නැති වුනාට වුන දේවල් මට අද ඊයෙ වගේ කියන්න පුලුවන්. දවස් ගාණක් එක දිගට ඉදිරි පෙළ ඉඳලා මහන්සි වුනු ඇඟට වගේම හිතට තවත් ජීවත් වෙන්නවත් බලාපොරොත්තුවක් ඉතිරි වෙලා තිබුනේ නෑ. තුවක්කු වලින් ගින්දර පත්තු වෙන සද්දෙ ඇරුණම වෙන කිසිම සද්ද්යක් නෑහෙන කරුමක්කාර වෙලාවක් ඒක. මගේ වටේ ඉන්න සහෝදරවරු එක එකා අහසින් පොලොවට වැක්කෙරෙන වෙඩි වරුසා වලට අහුවෙනවා බලං ඉන්න වෙන්නෙ මම කරපු මොන පාපයකටද කියලා මට හිතාගන්න බැරිව හිටියේ. අඩියෙන් අඩිය "මගේ රට වෙනුවෙන්" කියලා හිතාන ඉස්සරහට යද්දි මැරිලා වැටිලා හිටි අහිංසක සත්තුන්ගෙ මළකුණු දුසිම් ගාණෙ දකිද්දි මේ සත්තු කරපු වැරැද්ද මොකද්ද කියලා මගේ හිත අහනවා මතකයි.

අතඇරලා දාපු ගමක් ගාවට අපි හෙමින් කිට්ටු වෙන්නේ ඔන්න ඔහොම වෙලාවක. ගිනිකාෂ්ටක අව්වෙ තට්ටු ගාණක සන්නාහ ඇඳුම් ඇඳලා දාඩියෙන් තෙත්වෙලා ඉද්දියි ඒ ගමට අපි කිට්ටු වෙන්නේ. එකට එකක් කිට්ටුවෙන් හදලා තිබුනු පුංචි ගෙවල් එකකවත් වහලක් නැත්තේ අපේ අතින් වැදුනු රොකට් පාරවල් වලට බව මම දන්නවා. අපේ අතින් වැදුනු? අපි ගහපු රොකට් පාරවල්. ඒ රොකට් පාරවල්, ගෙවල් වල වහලවලට වදිද්දි ඒ ඇතුලෙ මිනිස්සු හිටියද, හිටියානම් ඒ මිනිස්සුන්ගෙ ජාතිය, ආගම මොනවද කියල අහන්නේ නෑ, තමන්ගෙ ඉස්සරහ තියෙන හැමදේම විනාශ කරනවා මිසක්. එක ගෙයක් නෑර, එක බිත්තියක් නෑර සිදුරු සිය දහස් ගණන් එක එක අතට වැදිලා තිබුනු විදියට මගේ ඇඟ තාම හිරිවැටෙනවා. අපි ඒ ගෙවල් ලඟට යද්දි අපේ පැත්තට එන වෙඩි වරුසාව හෙමින් අඩුවෙන්න ගන්නවා දැනුනා. රෙදි වැල් වල තිබුනු ඇඳුම්, ලිප් උඩ තිබුනු හිල් වුනු හට්ටි, මහන මැෂින් වල තිබුනු රෙදි අපිට මේ ගමේ පුංචි ජීවිතේ ගැන ලස්සනට කියලා දුන්නා. මළ සිරුරු මොකුත් නොතිබුනේ කිසි කෙනෙක් නොමැරුණු නිසා නෙවෙයි කියලා මට හිතුනේ ගමේ ලිඳ ලඟ මඩ වලක තිබුනු අලුත් ටයර් පාර දැක්කම.

ඒ ලිඳේ භාගෙට කැඩුනු තාප්පේ ලිඳ ඇතුලට වැටිලා තිබුනු නිසා ඒ ලිඳෙන් වතුර බොන්න තිබුනු හැකියාව නැත්තටම නැති වෙලා තිබුනේ. වෙඩි සද්දේ එන්න එන්න නැති වෙලා යද්දියි දොළ පාරක සද්දෙ හෙමින් සැරේ කණ් දෙක ලඟට දැනෙන්න ගත්තේ. මගේ ඇඟ ආයෙමත් හිරිවැටිලා ගියේ ඒ ලිඳේ රතු පාටට ලියලා තිබුනු දෙයක් ගාව ඇහැ වැදුනම."அம்மா, என்னை காப்பாற்ற" ( අම්මේ මාව බේරගන්න ). කවුරු කොයි වෙලාවක ලිව්වාද කියන එක අදාල නොවුනට ඒ වචන ඇතුලේ තිබුනු ආත්මය මා එක්ක කතා කරනවා මට දැනුනා. මගේ සහෝදරවරු බහුතරයකට නිකන්ම නිකන් දෙමළ අකුරු කීපයක් විතරක් වුනාට අනිත් අයගේ හදවතට තදින් ඒ ලිඳ කතා කරපු බව මම දන්නවා. ඒ ලිඳ ඉස්සර මට මගේ ගාම්භීර වෙස් මූණත්, මගේ සොල්දාදු ඇඳුනුත් වීසි කරලා දාල නිරුවතින් දණ ගහල අඬන්න හිතුනේ මේ කල්පිත වැටෙන් දෙපැත්තේම ඉන්නෙ එකම විදියට මේ ලෝකෙ එලිය බලපු එකම පිරිසක් නේද කියලා මගේ හෘද සාක්ෂිය මගෙන් අහපු වෙලාවේ.

දිය පිපාසාව ලේ පිපාසාවට වඩා වැඩි නිසාදෝ අපි හෙමින් ඇදිලා ගියේ අර දොළ පාර ගාවට. අපි හැමෝම දොළ පාරෙන් වතුර බීලා මූණ හෝදගනිද්දි මම ටිකක් දුරට ගියේ සාංකාවට තියෙන ආසාවට වෙන්න ඇති. එතනදි මගේ මුළු ජීවිතේම සම්පූර්ණයෙන්ම වෙනස් වෙන දෙයක් වේවි කියලා මම දැනගෙන හිටියේ නෑ මොනම හේතුවක් නිසාවත්. යුද්දයක් ගැන කිසි හැල හොල්මනක් නැතුව තමන්ගෙ පාඩුවෙ ගලාගෙන යන දොළ පාරෙ සද්දෙ පසා කරගෙන මගේ කණේ ඇවිත් වැදුනේ කෙඳිරියක්. මම ඒ සද්දෙ හොයාගෙන යද්දි කෙඳිරිය ටිකින් ටික ඇඬිල්ලකට හැරෙනවා. හරි හීන් ඇඬිල්ලක්. ඒ ඇඬිල්ල මාව ගෙනියන්නේ පුංචි තොටිල්ලක් ගාවට. ඒ තොටිල්ලේ ඉන්නේ හුරුබුහුටි, පුංචි, ලස්සන කිරි දරු පැටියෙක්. අර දොළ පාර වගේම යුද්දයක් ගැන හාංකවිසියක අවබෝධයක් නැතිව අඬ අඬා විලාප දෙන ඒ දරුවාව මගේම දෝතින් මගේම පපුවට තුරුලු කර ගනිද්දි ඒ මුලු හදවතම දිය වෙලා ඇස් දෙකෙන් වැක්කෙරෙනවා මට දැනුනා. මට දෙන්න පුලුවන් හැමදේම ඒ දරුවට මම එදා දෙද්දි මම දැනගෙන හිටියේ  නෑ දවසක මේ දරු පැටියා මුහුදු දෙබෑ කරාවි කියලා.

6 comments:

හිතුන දේ දැනගන්න ආසයි