Tuesday, September 16, 2014

පොත් සාප්පුව



          පිඟන් කෝප්ප, හට්ටි මුට්ටි, පීරිසි, ට්‍රේ අනන් මනන් හෝදලා, පලතුරු හෙම කපලා, පැය ගාණක් මහන්සි වෙලා ඉවර වෙලා මගේ වැඩ ඇරුනා. මගේම කියලා පුංචි රස්සාවක් කරගෙන කීයක් හරි හොයාගත්තට ඒ සල්ලි වලින් කන එක ඇරුනම කරන්න වෙන වැඩක් තියෙද කියලා හිතාගන්න බැරිව මම හිටියේ. වැඩත් ඉවර එකේ මම කුස්සියට (මම වැඩ කරන්නේ රෙස්ටුරන්ට් එකක ) පිටිපස්සේ තියෙන කිලුටු කාමරේට ගිහින් ඇඳුම් මාරු කරගෙන එලියට බැස්සා. රස්නෙයි. හුඟාක් රස්නෙයි. ග්‍රීශ්මයත් හෙමින් සැරේ ඉවර වෙනවා කියල දැනෙන්නෙවත් නැති ගානට රස්නෙයි. මහා දවාලෙත් නිසා, ගෙදර ගිහින් කරන්න දේකුත් නැති නිසා, මම පොඩ්ඩක් ඉබාගාතෙ ඇවිද්දා. පැය හත අටක් එක දිගට හිටගෙන ඉඳලා කකුල් කැක්කුමක් ආව නිසා මම හිතුවා බස් යන පාර ගාවට ගිහින් පොඩ්ඩක් වාඩි වෙන්න. ඉතින් මම හෙමින් සැරේ ඇවිද්දා. ඔය අතරෙදි තමයි මම පොත් සාප්පුව ගාව නතර වුනේ. හැමදාම වැඩ ඇරිලා අනන්ත එතනින් ගියත් කලින් කිසි වෙලාවක මම නැවතුනේ නැති පොත් සාප්පුව.
         
          මම හෙමින් එතනට ගියා. පාරට මූන දාල පොත් ගොඩක් අඩුවට දාල තිබුනා. මම හෙමින් සැරේ ඒ පොත් මොනවාද කියල බලාන ගියා. Wuthering Heights, Pride and Prejudice, Sherlock Holmes, 500 Places to Visit, Corruption of the Catholic Church Over the Years, වගේ එක එක මාදිලියේ පොත් එතන තිබුනා. ඊට එහා පැත්තේ තට්ටුවේ කුකරි පොත්, එක එක ව්‍යායාම පොත් වගේම එදිනෙදා ජීවිතේට උපදෙස් දෙන පොත් තිබුනා. මට එක පොතක් හරි ගන්න ආසාවක් ආවත් මම තවත් බලන්න කියලා ඇතුලට ගියා. මම හම්බ කරන සල්ලි වලට (කෑම වලට අමතරව ) වටින කමක් තියෙනවා කියල තේරුනේ ඒ වෙලාවෙ. ඇතුලට ගිය ගමන් එක එක පොත් ගොඩක ඇහැ වැදුනා. Dawn of the Planet of the Apes, Fifty Shades of Gray, And the Mountains Echoed. මම කියවන්න ආස කළ සහ නැති පොත් ගොඩාක්. ඒ වෙලාවේ මම හෙමින් කල්පනා කලා මම පොතක් අන්තිමට කියෙව්වේ කොයි කාලෙද කියලා. මම අන්තිමට කියවපු පොත කියවලා අවුරුද්දක් වෙනවා. ඒත් ඒ පොත මට කියවලා ඉවර කරන්න බැරි වුනා. දෙවතාවක් කියවන්න ගත්තත් ඉවර කරගන්න බැරි වුනු මම ආසා කරන පොතක්. මම ඒ පොත හොයාන පොත් සාප්පුවේ කෙලවරකට ඇවිදගෙන ගියා.

*          *          *          *          *
       
          මම එරන්ද එක්ක ත්‍රී වීලර් එකක හිටියෙ. ගැස්සෙන පාරවල් දිගේ ඉස්සරහට යද්දි මූණට, ඇඟට වැදෙන හුලං පාර ලෝකෙ තියෙන වෙන මොන ප්‍රවාහන මාර්ගෙකටවත් ලං කරන්නවත් බෑ. එරන්දත් මමත් වැඩිය කතා කරේ නැතුවම ඇති. වචන දාහකට කියන්න බැරි කතාවක් ඒ නිශ්ශබ්දතාවේ ඇතුලේ තියෙන්න ඇති. එදා මම ගාල්ලෙ හිටිය අන්තිම දවස. හවස බස් එකට නගින්න කලියෙන් එක වැඩක් ඉතිරි වෙලා තිබුනා.
          
          එරන්දයි මමයි බස් ස්ටෑන්ඩ් එකේ උඩට නැග්ගා. හැලෙන ඩෙනිමකුයි සෙරෙප්පු කෑලි දෙකකුයි ගහන් අපිලිවෙලට කොණ්ඩෙ එහෙම තියන් හිටියාට ටිකක් පෙනුමට ඉන්න උත්සාහයක් ගත්තේ නෑ කිව්වොත් බොරුවක්. මම කවදාවත් එච්චර බස් වල යන මිනිහෙක් නොවුනාට බස් ස්ටෑන්ඩ් එකේ වෙනස ලොකුවට දැනුනා. අවුරුදු දෙකකට විතර පස්සෙ ගාල්ලට ගොඩ වුනාම ගාල්ලේ වෙනස මට නොදැනෙන්න විදියක් නෑ නෙ. අපි දෙන්නා හෙමින් සරසවි එක පැත්තට ඇවිදගෙන ගියා. 

          අවංකවම මම ඒ තැනට ආසා කරා. පාරේ මිනිස්සු යන හැටි, ඉවරයක් නැතුව වාහන යන හැටි එහෙම මට බලාන ඉන්න ආස හිතුනා මයෙ හිතේ. ඒත් හිතේ කොණක වෙන මොනවදෝ පිස්සු විකාර ගොඩාක් හිර වෙලා මාව මරන්න හදනවා මට දැනුනා. එරන්දත් මමත් සරසවි එක ඉස්සරහා ඉඳන් ඇතුල් වෙන්න හදද්දි ගෑණු ළමයි තුන් දෙනෙක් විතර යුනිෆෝම් ගහන් එලියට ආවා. අපි දෙන්නා හෙමින් සැරේ ඇතුල් වුනා. එතනින් එහාට මට වචන වලින් ලියාගන්න ටිකක් අමාරුයි. කමක් නෑ. ඒ ඇතුලේ අපි එනකම් කෙනෙක් බලාන හිටියා. ඒ බව කොච්චර දැනගෙන හිටියත් මුනගැහෙනකම් හිත ඒ බව පිලිගත්තේ නැති බව මට මතකයි. හිත ඇතුලේ යුද්ධ සිය දහස් ගාණක් තෙරපෙනවා කියලා මම දැනගෙන හිටියත් ඒ බව එලියට පෙන්නන්නෙ නැතුව ඉන්න වග බලාගත්තා.

          එයා අපි එක්ක කතා කලා. මම එයා එක්ක කතා කලා. වචන පිටවුනේ මොනවද කියලා හිතාගන්න බැරි තරමට හිත පිස්සු නටනවා මතකයි තදට. කියන්න දහසක් දේවල් තිබුනත් වචන වලට හරවන්න පුලුවන් කමක් තිබුනේ නෑ ඒ එක වචනයක්වත්. හිත ලෝකේ අග්ගිස්සටම ගිහින් ආපහු එනවා මට මතකයි. අපි මොන දේ කතා කලත් මම කතා නොකරපු වචන විසාල ප්‍රමාණයක් අදටත් මයෙ එක්ක තරහින් ඉන්න බව මම දන්නවා. අනන්ත මිනිස්සු එක්ක අනන්ත වචන කතා කලත් එදා මගේ හිත ඇතුලේ ආලෝකයේ වේගෙට වඩා වේගෙන් හැඟීම් පිස්සු නටන්න ඇති. කාලයක්, අවකාශයක් ගැන සරලව හරි අවබෝධයක් තිබුනේ නෑ මට එදා.

         අපි එක එක දේවල් ගැන කතා කලා. අවුරුදු එකහමාරකට පස්සේ හරියට මුන ගැහුනම කතා කරන්න දේවල් තියෙනවා ඕනේ තරම්. මියුසික් ගැන, ෆිල්ම් ගැන, පොත් ගැන. මම වැඩිය පොත් කියවන පොරක් නෙවෙයි නිසා කියන්න දේවල් ගොඩාක් අඩුවෙන් තිබුනේ. ඒක නිසා එයා ආස පොත් මට එයා පෙන්නුවා. ඔය අතරේ එයා මට පෙන්නුවා මම කාලයක් කියවන්න ආසාවෙන් හිටපු පොතක සිංහල පරිවර්තනයක්. මිනිත්තු එකොලහ - "Eleven Minutes (Onze Minutos)": Paulo Coelho ගෙ. මම දන්න පොතකට කියලා තිබුනේ Fifty Shades of Gray විතරයි. ඉතින් මම ඒකත් පෙන්නුවා එයාට. 

          ඔය අතරෙදි තමයි මනරම් අයියා බිරින්දෑ වරිය එක්ක සරසවි එකට ගොඩ වෙන්නේ. අයියා මට හලෝ කියාගෙන එද්දි අර කෙනා අතුරුදහන් වෙනවා. අවුරුදු ගාණක් දන්න අඳුනන අපේ මීඩියා එකේ අයියා කෙනෙක් නිසා මම කතා කරනවා අපේ මනරම් අයියා එක්ක. ඒත් හිතේ කොණක අඳුරු වලාකූලක් වගේ මොකද්ද මගුලක් කලු කරගෙන එනවා දැනුනා මතකයි. කෝම හරි කතා කරල ඉවර වෙද්දි මම "මිනිත්තු එකොලහ"ත් අරගෙන එයාව හොයාගෙන ගියා. කොච්චර පොඩි පොත් සාප්පුවක් වුනත් ඒ පොත් රාක්ක මැද එයාව හොයන්න ගිය විනාඩිය මට කල්පයක් වගේ දැනුනා. ඒත් එයාට යන්න වෙලාව ඇවිත් බව එයාගේ ඔරලෝසුව මගේ හදවතට දිවකුත් දික් කරලා හිනා වෙවී කිව්වා. තව අවුරුදු ගාණකට හම්බු නොවෙන්න එයා සරසවි එකෙන් එලියට බැහැලා යද්දි එරන්දත් මමත් අර පොත ගන්න පෝලිමට වෙලා හිටියා. මම පෝලිමේ හිටියත් මගේ හිත මගේ ඇස් දෙකත් එක්කගෙන එයා එලියට බැහැලා යනකම් බලාන හිටියා. 

"සංසුන් ගමනේ රූසිරි බෝමා......."

*          *          *          *          *

          මම "Eleven Minutes" පොත මගේ අතට ගත්තා. කොච්චර කියවන්න ආසා වුනත් හිත ඇතුලේ මොකක් හරි වැටක් ගහලා තියෙනවා වගේ දැනුනා මට ඒ පොත වටේ. මම "The Alchemist" මගේ අතට ගත්තා. Coelho ගෙ එක පොතක්වත් කියවලා නැති එකේ, ඒකෙන් පටන් ගන්න හිතුනා මට. මම කිසිම පොතක් අවුරුද්දකට කියවලා තිබුනේ නෑ. මිනිත්තු එකොළහ 2013 මාර්තු වල බාගෙට නැවැත්තුවට පස්සේ ආයෙම සැප්තැම්බර් හරියෙදි නැවැත්තුවා බාගයක් වත් කියවන්නේ නැතුව. කෝමෙන් කෝම හරි මම එදා "By the River Piedra I Sat Down and Wept" සහ "The Alchemist" පොත් දෙක ගත්තා. පලවෙනි පොතේ මුල් පිටු දෙක කියෙව්වායින් පස්සෙ ඇඟ හිරිවැටුනා වගේ දැනුනා. පොත් සාප්පුව ඇතුලට තෙහෙට්ටුවෙන් ගිය මනුස්සයා අලුත් පනක් ගහලා වගේ එලියට බැස්සා.

          එදා ඉඳන් මාසයක් සති දෙකක් ඇතුලත පොත් 7ක් මම කියෙව්වා. කලුවරේ දෝංකාර දෙන හිස් කමක් පිරිලා තිබුනු මගේ ජීවිතේ ගොඩාක් වෙලාවල් ඒ පොත් පිරෙව්වා. බස් වල නිකන් ඔහේ යන වෙලාව, කැම්පස් එකේ පන්ති දෙකක් අතරේ ගඟ ගාවට වෙලා ඔහේ ඉන්න වෙලාව වගේ ඒවා. කී සැරයක් මම ඒ පොත් සාප්පුවට ගියාද කියන්න මතක නැති වුනත් ඒ එක සැරේකවත් Eleven Minutes ගන්න හිත හදාගන්න බැරි වුනු එක මට තාම හිතාගන්න අමාරුයි.කෝමෙන් කෝම හරි මට ඒ පොත ඉංග්‍රීසියෙන් කියවන්න ඕනෙම නිසා මම ඔන්ලයින් ඒ පොත ගත්තා. ඊයෙ අපේ ගෙදරට මගේ නමට (පලවෙනි සැරේට ) පාර්සලයක ඒ පොත ඇවිත් තිබුනා.
--------------------------------------------------------------------------------------------------------------------------

ප.ලි.: මම ගාල්ලේ සරසවි එකෙන් ඒ පොත අරගත්ත අර කෙනාගේ "මඟපෙන්වීම" යටතේ. ඒත් දෙසැරයක් ඉවරයක් නොවෙන්න කියෙව්වේ ඒ පොතේම මට අපේ විල්හාරිගෙන් තෑගි ලැබිච්ච පිටපත. දැනට දවස් දෙකකට කලියෙන් අර පොත අපේ අම්මා කියවලා ඉවර කරලා තියෙනවා මම දැක්කා.

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි