Thursday, January 16, 2014

නිදි නැති පෙමක සරදම

හීන ඇහැරෙන තරමට
නිදි නැති පෙමක සරදම
වැලපෙන නුඹේ මුහුණට
කිති කැව්වේද හෙමිහිට

මිදුලට පැමිණි අඩසඳ
තනිවම රඟන රැඟුමට
ගත රැඳි සිනිඳු සළු රොද
නුඹටම නොදැනි වැටුනද

ලඟ ලඟ දැනෙන හුස්මක
උණුහුම නෙතට දැනුනද
දෙතොලඟ නෙතඟ රැඳුනට
තව ලං වෙන්න නොහැකිද

දෙනෙතඟ කඳුලු කැට මත
ගිනිසිළු ඔබට දැනුනද
ඔබෙ උණුහුමට ඉකිබිඳ
ඉටිපන්දමත් හැඬුවද

එකේ කණිසම අභියස
ලිහේ නෙත රැඳි සළු වත
කොහේ කොතැනක තිබුනද
නෙතේ නලියන හදවත

කෙළවර ලඟදි තනිවම
ඉකිබිඳ හැඬුවෙ කුමටද
නුපුරුදු කෙනිත්තුමකට
මුදු ඔබ දෙතොල රිදුනද

Tuesday, January 14, 2014

කඩදාසි හීන

ඉදින් මට අවසරයි
හිඳින්නට බලාන
නදිය ගැලු අයුරු
අප පසුකර එදා

ඔය පුංචි මල් සිනා
කඩදාසි දාර මත
සියුම් පැන්සල් තුඩින්
සිත්තම් කළා නේද

සිත්තමින් එපිට
ලෝකයක් නැතිවාට
ලෝකයක් තනන්නට
හීන මැව්වා නේද

කඩදාසි හීන
අපව පසු කර ගලන
මහා නදිය මත
දිය වෙවී ගලනවද?