Monday, December 23, 2013

ඒ වෙලාවේ මම වැල්ලේ හාන්සි වෙලා හිටියේ....

ඒ වෙලාවේ මම වැල්ලේ හාන්සි වෙලා හිටියේ. මාස දෙකකින් තුනකින් කපපු නැති කොන්ඩෙ අස්සෙ වැලි ගිහින් යවාගන්න විදියක් නැති වුනා. මගේ ගාවින් මූද පැත්තට හුඟාක් ඇල වෙලා තිබුණු පොල් ගහක් නිසා ඉර අව්ව මූණට වැටුනේ නෑ. කෝමත් ඉර අව්ව තිබුනෙ තව ටික වෙලාවයි. දකුණු අතේ මාපට ඇඟිල්ලෙ නියපොත්ත අස්සෙ වැලි වගයක් හිර වෙලා. මං ඒ ටික අයින් කලා. එක වැලි කැටයක් අල්ලෙ නැවතුනේ ඒ වෙලාවේ. මම ඒක දිහා බලාන හිටියා. අමුතු හැඩයක්. ඇහැට පේන්නෙ නැති තරම් පුංචියි. මහා වැලි කන්දක පුංචි වැලි කැටයක්. වෙන එක වැලි කැටේකටවත් සමාන නැති, ඒත් තනි කැටයක් විදියට කිසිම වටිනාකමක් නැති වැලි කැටයක්. ටික වෙලාවක් යද්දියි මට තේරුනේ මම මේ බලාන ඉන්නෙ මං දිහාමයි කියලා. ඇස් වලට වැලි ගියා වගේ. මං ඒ වැලි කැටේ වීසි කරලා දැම්මා. මගේ ගාව තිබුනු පුංචි හිලකින් පුංචි කකුළුවෙක් එලියට ඇවිත් මූද පැත්තට ඇවිදගෙන යනවා මං දැක්කා. අර පොල් ගහේ කඳ උඩ කාක්කෙක් වාඩි වෙලා. දැං ඉර ඒ පොල් ගහටත් වඩා පාතට ගිහිං මගේ මූණට ආයේ අව්ව වැටෙනවා. මං ඇස් දෙක පියාගත්තා. බොහොම චුට්ටක් වැවිලා තිබ්බ මගේ කොණ්ඩෙට හුලං වදිනකොට සනීපයි. ඇයි රැවුල. ඒ හැඟීම විස්තර කරන්න තේරෙන්නෙ නෑ. මං ඇස් අරිද්දි ඉර තිබුනෙ නෑ. දම් පාට අහසක් විතරයි තිබුනේ. ක්ෂිතිජය ගාව එක තැනක් තැඹිලි පාටට තිබුනා.


ඒ සීතල හුලඟත් එක්ක ටිකින් ටික අහස කළු පාට වෙනවා මං බලාගෙන හිටියා. වැල්ල කිසි හැලහොල්මනක් නැති ගානයි. මට නැගිටින්න හිතුනෙම නෑ වගේ. රැලි ගහන සද්දෙ පොඩ්ඩ පොඩ්ඩ ඇහෙනවා. ඇස් කොනින් මම දැක්කා පුංචි බලු පැටියෙක් වැල්ල දිගේ ඈතට ඇවිදගෙන යනවා. මං හිටිය බොක්කෙ අනිත් පැත්තේ හෝටල් වල ලයිට් පත්තු වෙන්න පටන් ගන්නවා මට පෙනුනා. ජූලි මාසේ මැද වගේ නිසා එයාලටත් ලාබ ඇති. මං හෙමින් වැල්ලේ වාඩි වුනා. පොල් ගස් පේලියක්, රැලි ගහන මූද, හුඟාක් අඳුරු අහසක්, හිටපු ගමන් ටිකක් දුරින් තියෙන පාරක යන වාහනේක සද්දයක්, ඇරුණම මං හුඟාක් තනියෙන් හිටියේ. මං තනිකමට ආසයි. ඒත් එවෙලෙ දැනුනේ පාලුවක්. ඒ පාලුවට හිතේ බයක් දැනුනා මතකයි. මම හෙමින් නගිට්ටා. අව්වට රත් වෙලා තිබුනු වැල්ල ටිකින් ටික සීතල වෙනවා. මම වතුර පෑගුවා. කකුල උඩින් වතුර යද්දි හිරිගඩු පිපෙන, නහර ඉලිප්පෙන හීතලක් දැනුනා. ඒ හීතල තිබුනේ වතුරෙද නැත්නම් මගේ හිතේද කියන්න මම දන්නෙ නෑ. මම වෙරල දිගේ ඇවිදගෙන ගියා. මගේ අඩි, මගේ පිටිපස්සෙ නැවතිලා මගේ දිහා බලාන හිටියා. මං දිගටම ඇවිද්දා. මං තියපු හැම අඩියක්ම මට පිටිපස්සෙන් ඉඳන් මං තියන අලුත් අඩි දිහා බලාන හිටියා. මම දිගටම ඇවිද්දා.

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි