Friday, October 25, 2013

කිවිඳියක මියගොසිනි


කිවිඳියක මියගොසිනි
පදපේලි පැටලිලා..
තරු අහස දෙදරවති
හෙණ හඬද කැළඹිලා

මල් පිපුනු නිම්නයක
කටු පඳුරු ඇතිරිලා..
ගලා ගිය නිල් නදිය
ටිකින් ටික වියලිලා...

සීතලට හැමු සුලඟ
ඇගෙ සුවඳ මුසුවෙලා
අද රෑත් හමනවද
පෙර කවක හැඩ කියා..

Sunday, October 13, 2013

වසන්තය නිමැයි


වසන්තය නිමැයි
ග්‍රීශ්මයත් අවසන්
ගිමන් සමයක් නැතුවම
ශීත සෘතුව එනවද?

ඒ පිපුනු මල්
මුකුලිතව යන බව දන්නෙමි.
තවත් මල් නොපිපෙයිද?

මුදුන් මුල වියලිලා
ගසක් පල මල් බරින් ගිලිහෙයිද?
කලක් වණයම රජ කල
ඒ මහා වෘක්ෂය
කාට හරි තාම මතකයිද?

මේතාක් කාලයක්
මල් පියලි දළු මත
සීතලට තැවරුනු
මෘදු සුවඳ පිනිදිය
ටිකෙන් ටික මිදෙනවද?

Sunday, October 6, 2013

සිතුවමකි ඔබ


 සිතුවමකි ඔබ
සිත්තරකු නැති..
විචිත්‍රවත්...
කැන්වසයක් මත
කාබන් ඉරි ඇඳී,
දිය සායමෙන් හැඩවුනු...
සිත්තරකු නැති
සිතුවමකි ඔබ....

Saturday, October 5, 2013

මකරාක්ෂණියක වෙන්නෙපා...


මකරාක්ෂණියක වෙන්නෙපා
අසිපත් තුඩින් සේනා නසන
ඔය නැඟෙන ගිනිසිලු
අසිපත් තුඩේ සඟවා
අනින්න මට හෙමින්
දරාගෙන ඉන්නම් තවත්
මෙතෙක් කල් මා සිටි විලසටම...

පියාඹනු එපා
අහසට නොහැකි වෙයි
ඔය බර දරාගන්න..
මටත් බැරි වුනානම්...

වෘක්ෂ තුරු ලතා
එපා උදුරන්න..
මුලිනුපුටා දමන්නෙපා
අපේ මේ ශිෂ්ටාචාරයම..
මරන්න මාව.. තියන්න..
ඔය අසිපත් තුඩ
මගේ හද මඬලත...