Tuesday, April 30, 2013

සඳ කිඳුරනේ සමාවෙයන්

සඳ කිඳුරියෙනි මම කිඳුරකු නොවන බැවින්
නැත ඉඩ අපට මේ ලොව ආදරය නමින්
කිඳුරකු මළ වරද සරි කළ නොහැකි කමින්
මම අද හෙටම විදිනෙමි මා හටම හෙමින්

ලඟ සිට කලක් ඔබ පෙම් කල නියා නියා
සැප වින්දාද සමඟවැ මන පියා පියා
ලප සඳ ලෙසින් උන් ඒ සඳ මරා පියා
නුඹ වෙන් කළ එදා මම නේද පාපියා

උපුල් කඩා ගෙන කණැලා සුපුල්වන
සිහිල් පෙමක් නොලැබෙන බවද දැන දැන
පව් කල නිසා හැම සැප නොම එකල්වන
සිහිල් සෙවනෙ උන් හැම දෙන තැව්ල්වන

දිසි ගඟුලැල්ලේය කෙළැ සිහිලැල්ලේයා
මඳ පවනැල්ලේය තුරු සෙවනැල්ලේයා
නුඹ සහ වැල්ලේය දුම් රිය මුල්ලේයා
උන් අපි ලොල්ලේය නුඹ ලතැවුල්ලේයා

කිඳුරිය වරද මා හට පෙම් කිරීමැයි
මා කළ වරද ඔබ රුව දෙස බැලීමැයි
හැලෙනා රතු රුහිරු හද ගිනි දවාලයි
ලොව අප සැමට මෙලෙසට රුදු වුනේ ඇයි

සඳ සඳ නැගෙයි පෙරදා නැඟෙනා ලෙසට
ගිනි හිරු දැනෙයි තවමත් දැවෙනා සිතට
අපි තනි වුවත් අඳුරු කොණක සීතලට
දිනයක දැනෙයි විඳි උණුහුම හැම හදට

ලිව් කවි කා හටද අද මම නොදන්නෙමි
සඳ කිඳුරන්ට කිසිදින දුක් නොදෙන්නෙමි
මා මැව් දුම් වලා දිනයක මකන්නෙමි
මා මිනිසෙක්මි දුක් දෙන්නට නොසිතුවෙමි

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි