Tuesday, April 30, 2013

සඳ කිඳුරනේ සමාවෙයන්

සඳ කිඳුරියෙනි මම කිඳුරකු නොවන බැවින්
නැත ඉඩ අපට මේ ලොව ආදරය නමින්
කිඳුරකු මළ වරද සරි කළ නොහැකි කමින්
මම අද හෙටම විදිනෙමි මා හටම හෙමින්

ලඟ සිට කලක් ඔබ පෙම් කල නියා නියා
සැප වින්දාද සමඟවැ මන පියා පියා
ලප සඳ ලෙසින් උන් ඒ සඳ මරා පියා
නුඹ වෙන් කළ එදා මම නේද පාපියා

උපුල් කඩා ගෙන කණැලා සුපුල්වන
සිහිල් පෙමක් නොලැබෙන බවද දැන දැන
පව් කල නිසා හැම සැප නොම එකල්වන
සිහිල් සෙවනෙ උන් හැම දෙන තැව්ල්වන

දිසි ගඟුලැල්ලේය කෙළැ සිහිලැල්ලේයා
මඳ පවනැල්ලේය තුරු සෙවනැල්ලේයා
නුඹ සහ වැල්ලේය දුම් රිය මුල්ලේයා
උන් අපි ලොල්ලේය නුඹ ලතැවුල්ලේයා

කිඳුරිය වරද මා හට පෙම් කිරීමැයි
මා කළ වරද ඔබ රුව දෙස බැලීමැයි
හැලෙනා රතු රුහිරු හද ගිනි දවාලයි
ලොව අප සැමට මෙලෙසට රුදු වුනේ ඇයි

සඳ සඳ නැගෙයි පෙරදා නැඟෙනා ලෙසට
ගිනි හිරු දැනෙයි තවමත් දැවෙනා සිතට
අපි තනි වුවත් අඳුරු කොණක සීතලට
දිනයක දැනෙයි විඳි උණුහුම හැම හදට

ලිව් කවි කා හටද අද මම නොදන්නෙමි
සඳ කිඳුරන්ට කිසිදින දුක් නොදෙන්නෙමි
මා මැව් දුම් වලා දිනයක මකන්නෙමි
මා මිනිසෙක්මි දුක් දෙන්නට නොසිතුවෙමි

Sunday, April 14, 2013

උත්ථානයට මොහොතකට පෙර..


දෝංකාර දුන් හස කැන්
සන්තානයේ පියනගයි,
නිසොල්මන් කඳුලැලි
පා දෝවනය කරතත්....
ඉදින් සන්තාපය අහවරයි..
තුෂර බඳු අතීත අවතාරයන්
වෙලාගනිද්දී මිහිකත
මා හිඳිමි ගල්ලෙනට වී....
ආස්වාසය සිහිනයෙකි
කඳුලු, හසරැල් මායාවෙකි
ඔබ සැවොම ඡායාවෙකි
අහෝ ඈ ආලෝකයකි.
විඩාබර දෑස් පරදා
මස්තික්ෂයට වෙරදී
සොයාන එන්නම් මොහොතකින්..
ඒ මොහොතට මත්තෙන්
ඉඩ දෙන්න හදවතට තත්පරයකට
සන්තානයේ සැතපෙන්න සීතලට.



Saturday, April 13, 2013

දුහුවිලි අංශු වී..


බලාන හිඳිමි
නිරුත්තර වී....
වැටෙනා අයුරු පොළොවට
දුහුවිලි අංශු වී...
දිනෙක වැජඹුනු වුන්
මහා කඳු ශිඛර ලෙස....

නිරුත්තර වෙම් මම් හදවතින්;
බලාන සිටිනු මිස ඒ දෙස
කළ හැකි දෙයක් වෙද මට?
අනේ කොවුලනේ වරෙන්.. උඹලා වරෙන්
ගයන්න පුලුවන්ද ගීයක්?
ගී දහසක්? කණට.. කණ් වලට?

සුළඟට මුසුවෙන්න දෙන්න මේ කතා..
අතීතයට යාවිද
මේ සැවොම වී විරුවන්?
යා යුතුය උන් යා යුතුය...
ඔබ ඔඩිසියස් රජු වේ..
ඔබ, ඔබ, ඔබ සහ උඹත්..

මටත් ආසයි එන්න
දවසක උඹල එක්ක ස්වර්ගයට...
මාවත් එක්ක යන්න දරුවනේ...
දේවදූතයින්, දෙව්දුවන් වූ දවසක..

නමුත් එතකන් ඒ දුහුවිලි කැට
විය යුතුය නැවත කඳු ශිඛර..
අළු කඳුලු අතරින්
නැගිටිය යුතුය ෆීනික්ස් පක්ෂියකු සේ

අපි මිනිසුන් වෙමු..
අත් වැල් බැඳන් නැගිටිමු..
අප උපන්නේ නැගිටුවන්නට නොවේද
එකිනෙකා ඇද වැටෙන විටෙක?
දමා නොයන්නෙමි, කිසිදාක නොගියෙමි
වෘක්ෂයනට වැටෙන්නට ඉඩ නොදෙමි;
මුල් බුරුල් නම් පහණ් තර කරමු
අප සැවොම, එකතු වී, තම තමන...

Saturday, April 6, 2013

එක් පෙත්ත

taken in SL

එක් පෙත්ත එක් පෙත්ත
ගැලවෙන්න විසිරෙන්න,
ඉතිරි වුනු පැතුම් පොදි
තර වෙන්න ඉඩ දෙන්න

ගිනි ගත්ත නගරයක
තනි වෙච්ච දිය රෙද්ද,
තනිව ගොඩනඟන්නට
හදනවද නගරයම?

තනි නොමැති ඔබ හිතට
තව තවත් දිරි දෙන්න
හිතට ආසයි හුඟක්
නමුදු මා නැත ලඟක

දිවිය සරි කරලන්ට
ඔබට ඇත හිත හයිය 
වැටුනු කඳු ඔසවන්න
වෙරැති සුරඟනකි ඔබ

හදට හද කොඳුරන්න
අවැසි නැත තනියෙන්ම
හඬා හිනැහෙමු සැවොම
මුලු ලොවට පෙනෙන්නට

තනි තරුව තනි නොමැත
ගිනි සිලුව රුදු නොමැත
ඇහෙන හඬ හැම හදෙම
අහමු මිය යන තෙක්ම

එක් පෙත්ත එක් පෙත්ත
ගැලවුනත් විසිරුනත්
පිපුණු මල මලක්මැයි;
හිනැහෙන්න මුලු ලොවට.....



Monday, April 1, 2013

ප්ලේන්ටි දෙකකුයි බිත්තර රොටි දෙකකුයි

"මල්ලි ප්ලේන්ටි දෙකකුයි බිත්තර රොටි දෙකකුයි දෙන්න. ඔව් මේ කපලා හොදි දාලා දෙන්න මල්ලි හොඳේ. තැන්කිව් ආ...... මේක ඇවීල්ලා මම නිතර කන්න එන පොට් එකක් මචන්. උඹලා ඉතින් මේ පැත්තේ එන්නේ කොච්චර කාලෙකට සැරයක්ද? ඉතින් මෙතනට එක්ක එන්නෙ නැතුව නම් යවන්නෙ නෑ කියල හිතන් හිටියේ. ඔන්න හිටහන් තව ඩිංගකින් යනවා කෝච්චිය. එතකොට මේ මේස පුටු දෙදරණවා. ඒකෙ තියෙනවා බං අමුතු ලස්සනක්. උඹලා කොහෙද ඒක විඳින්නේ එහේ. නේද? උඹට කියන්නේ බං මෙච්චරක් මෙහෙට වෙලා ඉන්න අපේ එවුන්ටවත් බෑනේ මේ කරච්චලේ තියෙන නිශ්ශබ්ද ගතිය තේරුම් ගන්න. මේක ඇවිල්ලා මහ එක තැන පල් වෙන ජීවිතයක්. කෝච්චිය යනකම් ප්ලේන්ටිය උඩ පැන පැන නැටුවට කෝච්චිය ගිය ගමන් ඒක ආපහු හිටිය විදියමයි. අඩු ගානේ අපි ඒ මොහොත විඳින්න ඕනෙ මචන් නෙ? ආ මල්ලි බොහොම ස්තූතියි.. ප්ලේන්ටිය මතක් කලා විතරයි. ඔන්න ඔය බිත්තර රොටි පිඟාන තියහන් මෙතනින්. මචන් දන්නවද, මූ ඇවිල්ලා හොඳ කොල්ලා. හැමදාම ආවම මට උදව් කරන්නෙ මූ තමා. මෙතන කස්ටියගෙන් හිත හොඳම කොල්ලා තමා මූ. මතක තියාගනින් මූන. හරි තැන්කිව් මල්ලි. උඹ හිතනවද මම බීලා කියලා? නෑ මචන් මම බීලා නෑ. මුලු වාතයම නිකන් ඩ්‍රග් එකක් වගේ. එච්චරටම දූශිතයි. ඉතින් ඒ වාතයේ ජීවත් වෙන අපි ටිකක් පිස්සු කෙලින එක සාධාරණයි නේ? මතකද උඹලා ඒ දවස් වල මට විහිලු කරනවා පොර ටෝක් දෙනවා කියලා. තාම ඒ වගේමයි නේ? හිහ් හිහ්. ගණන් ගන්න එපා. කාලය කොච්චර හයියෙන් කඩාගෙන බිඳගෙන ඉස්සරහට ගියත් අපි වෙනස් වෙන්නෙ නෑ. ඒත් ඉතින් එක තත්පරේක ඉඳපු මිනිහෙක් ඊලඟ තත්පරේදි ඒ වගේම ඉන්නෙත් නෑ. ඔය හමේ සෛල කී දාහක් ඒ තත්පරේට ගැලවිලා වැටෙන්න ඇත්ද? මොලේ පුරා එක එක රසායනික මගුල් කොච්චර එහා මෙහා යන්න ඇත්ද? ඊලඟ තත්පරේදි උඹයි මමයි කලින් හිටියට වඩා තත්පරයක් වයසයි. තත්පරයක් අපේ මරණයට කිට්ටුයි. ඉතින් උඹට කරන්න තියෙන දේවල් වලට පරක්කු කරන්න එපා. උබ මේ නිරපරාදේ මාත් එක්ක කතා කර කර ඉන්න වෙලාවෙ වැදගත් වැඩක් කර ගණින්. ඒත් බලහන්, උඹ මාත් එක්ක කතා කරනවා. අපිට මේ ලෝකේ වැඩිපුරම වටින්නේ බැඳීම්. කවුරු මොන විදියට නෑ කිව්වත්. උඹ ආවේ නැත්නම් මේ ටික මම හැමදාම වගේ තනියම හිතනවා. ඒත් අඩු ගානේ කාට හරි කියල දාන එකෙන් හිතට එන නිදහස. ඒ උඹ එක්ක මගේ තියෙන බැඳීම නිසා. උඹ මෙච්චර ගිහින් දියුණු වෙලා මාව බලන්න ආවා කියල හිතෙනකොට එන හැඟීම. හිතහන්. මොකෝ වුනේ? රහ දැනෙන්නේ නැද්ද? ප්ලේන්ටිය ටිකක් නිවෙනකන් ඉන්න බැරි වුනානේ ඉතින්. උඹ ඉස්සර වගේමයි. වෙනස් නම් වෙලා නෑ. මචන් මම උඹෙන් විස්තර අහන්න යන්නේ නෑ. උඹ එකම කතාව හැමෝටම කියලා කියලා එපා වෙලා ඇති කියලා හිතනවා. මට කියහන් උඹේ ජීවිතේ ගඟක් වගේ ගලාගෙන යනවද විලක් වගේ රැලි ගගහ එක තැන තියෙනවද මඩ වලක් වගේ එක තැන පල් වෙනවද කියලා. ඔය තුන් වෙනි එක නම් වෙන්න දෙන්න එපා. හොදි එක්ක බිත්තර රොටි රහයිනේ? උඹට ඉතින් හම්බු වෙනවද මේවා කන්න නිතරම. හිහ් හිහ්. උඹේ ෆෝන් නොම්මරේ දීපන්. මම එහෙව් එකක් ගත්තු දවසක කතා කරන්නම්. මගේ හිතේ තාම හීන තියෙනවා බන්. මගේ හිත තාම මැරිලා නෑ. හැබැයි ඒවා සැබෑ කරගන්න තියෙන අවස්තා නම් හැම එකක් ම වගේ මැරිලා. ඉතින් මට වෙන මුකුත් ඉතුරු වෙලා තියෙනවද කියන්න මීට වඩා. කෝච්චියත් ගියාද? දැනුනෙවත් නෑ. මම කිව්වෙ මට දැනුනෙවත් නෑ. හිහ් හිහ්. මේක කිසි පදනමක් නැති ජීවිතයක් බං. මැරිලා මැරිලා හම්බ කරනවා අන්තිමට ඔය මොන මගුලක්වත් අරන් නෙවෙයි යන්නේ. අපි ඇවිල්ලා ඉපදෙන්නෙම මැරෙන්න මචන්. ඉතින් ඊට වඩා හොඳ නැද්ද ඉපදෙන්නේ නැතුවම හිටියනම්. ඒක ඉතින් මගේ තීරණයක් වුනේ නෑනේ බං. මම කලකිරිලා නෑ. සමහරවිට කලකිරිලා වෙන්න ඇති. මට තේරුමක් නෑ. ඔන්න ඔය රොටි කෑලි ටික කාලා දාහන්. මචන් මට උඹෙන් කිසිම උදව්වක් එපා. උඹ මට සල්ලි දෙන්න හිතන්නවත් එපා පිස්සුද? මට මැරුනත් පුලුවන්ද උඹෙන් සල්ලි ගන්න. උඹ මට කරල තියෙන උදව් වලට ණය ගෙවාගන්න මට බැරි වෙනව මේ ජීවිතේට. උඹ මට තවත් පව් පුරවන්න එපා බං. නෑ මම කිව්වෙ ණය වල ගණන් වල හැටියට පව් තීරණය වෙනවා කියලා නෙවෙයි. ඒත්. හ්ම්ම් උඹට ඔච්චරටම ඕනේ නම් එක දෙයක් කරල දීහන්. ඊට පස්සෙ ආපහු උදව් කරන්න ඉදිරිපත් වෙන්නත් එපා මම ඉල්ලන්නෙත් නෑ. පුලුවන්නම් මේකෙ බිල ගෙවලා දාපන්."