Saturday, March 23, 2013

කෙටිකතාවක්


"මචං අපි කෙටිකතාවක් ලියමු?" මම ඇසීමි.

"හ්ම්" ඇය නිමක් නැති මහා සමුදුර දෙස බලා සිටියි.

"ඒ මචං අපි කෙටි කතාවක් ලියමුද?" මම නැවත ඇසීමි. "මේ මුහුද දිහාම බලාගෙන ඉඳල දැන් එපා වෙලා බං"

"මට නම් එහෙම නෑ. බලහං මේ මුහුද කොච්චර ලස්සනද කියලා. අර තැඹිලි පාටට දිලිසෙන අහස? රතු පාට බෝලයක් වගේ තව ටිකකින් බැහැල යන ඉර? උඹට කොහොමද මුහුද එපා වෙන්නෙ?"

"හරි හරි.. නෑ ඒක නෙවෙයි මම අදහස් කලේ. මුහුද දිහා බලං ඉන්න එක අපි හැමදාම කරනවනේ. අද වෙනසකටත් එක්ක අපි නිකං ඉන්න එකේ කෙටි කතාවක් ලියලා දාමුකො. ඒකෙන් අපි දෙන්නටම නරකක් වෙන්නෙ නෑනෙ."

"මට ඕවා ලියන්න බෑ. උඹ දන්නවනේ"


"මටත් බෑ. ඒක නිසා අපි දෙන්නම ලියමු" මම ඈ දෙස බැලීමි. ඈ මදෙස බලා සිනාසෙයි.


"ඉතිං කැමතිද?" මම නැවත ඇසීමි. "මොකෝ හිනාවෙන්නේ?"

"නෑ උඹත් මේ මොකකට හරි ඔච්චර වුවමනාවකින් ඉන්නවා දැක්කේ ගොඩක් කාලෙකින්. හ්ම්.. උඹම පටන් ගනින්කො බලන්න"

"හිටහන් මම මේ කල්පනා කරන්නේ කොහොමද අපි මේක පටන් ගන්නෙ කියල"

"අයියෝ උඹ වැඩේ ගැන කතාකරාට ඒක කරන්නෙ කොහොමද කියලා අදහසක් නෑ නේද?" ඈ තවත් සිනාසෙයි.

"මේ සහෝදරී, එක පාරකට එක අඩියයි හරිද? එක දවසින් චීන මහා ප්‍රාකාරේ හැදුවෙ නෑනෙ"

"චීන මහා ප්‍රාකාරේ හදන්නද අදහස? මගේ හිතේ නම් තිබුනේ අපේ වටේ වැටක් ගහගන්න විතරයි"

"වැටක් ගහනවනම් චීන මහා ප්‍රාකාරයක්ම ගහමු නේද?"

තව සුලු මොහොතකට මහ සමුදුර විසින් අප සිත් පැහැර ගනු ලැබීය. ඒ නිහඬ බව මින් පෙර කෙතරම් සොඳුරු වුවත් අද මා හදට රිදුම් දෙන්නට සමත් වනු ඇති බව මා නොසිතුවෙමි. ඒ නිහඬ බව බිඳින්නට මම කටහඬ නැවත අවදි කළෙමි.

"මචං මට ආවා අදහසක්. අපි කතාව කලින් හිතාගෙන නොලියා, ලියන ගමන් එන විදියට ලියල දාමු. උඹ පිරිමි ළමයගේ චරිතෙ හදපන්. මම ගෑනු ළමයගෙ චරිතෙ හදන්නම්. ඔයා පිරිමි ළමයගෙ චරිතෙ ඔයා කැමති විදියකට හදන්න. ඊට පස්සෙ අපි එකතු වෙලා කතාව ලියමු."

"අයියෝ ආදර කතාවක් ද ලියමු කීවේ? කලින් කීවානම් බෑ කියනවනෙ මම"

"නෑ ආදර කතාවක් ම නෙවෙයි. සමහරවිට ආදර කතාවක් වේවි. සමහරවිට නොවේවි. දැනට අපිට ඒක වැඩක් නෑ. අපි දන්නේ පිරිමි ළමයෙක් සහ ගෑනු ළමයෙක් ඉන්නවා කියල විතරයි. දැනට කියමු එක වයසෙ කියල.. යාලුවො කියල වගේ."

අපි දෙදෙනම නැවත නිහඬ වීමු. තත්පරෙන් තත්පරේ විනාඩියෙන් විනාඩිය අප පසුකර සෙමින් ඇදී යන අයුරු අපට නොදැනුනාම නොවේ. මොහොතින් මොහොත හමනා සිසිල් සුලඟට විසිරෙන ඇගේ සියුම් කෙහෙරැලි ඒ ඇඟිලි තුඩු මතින් සකස් වන අයුරු මම බලා සිටියෙමි. ඇය අප ඉදිරියෙහි ආඩම්බරින් වැජඹෙන මහ සමුදුර දෙස තවම බලා සිටියි. මමද ඒ දෙස බැලීමි.

සැබැවින්ම අප මෙහි කුමක් කරන්නේදැයි අපි නොදනිමු. සුපුරුදු පරිදි මුහුද අද්දරට ඈ සමඟ පැමිණියා මිස මා හට මෙහි සිටීමට වෙනත් කිසිදු හේතුවක් නොවේ. ඈ හටද එය එසේම විය යුතුයැයි මම සිතමි. ඈ තරම් මා හට සමීප මිතුරෙකු මට වෙතැයි මම නොසිතමි. ඈ තරම් අන් කිසිවකු මා හඳුනන්නේදැයි ද මම නොදනිමි. අප මෙහි පැමිණෙන්නේ කිසිමාකාර හේතුවකට නොවේ. මෙහි සිටින විට අප කාලය ගත කරන්නේ මුහුද දෙස බලා තනිව කල්පනා කරමින් බව අප දෙදෙනම තේරුම් ගෙන ඇති බව මට හැඟෙයි.

මා, අප ලියන්නට යන කෙටිකතාව පිළිබඳව සිතන්නට වීමි. අප ලියන කෙටි කතාව සාර්තක නම්? අපි ඒ ගැන සතුටු නම්? එසේ නම් අප තව තවත් කෙටි කතා ලියනු ඇත. මෙහි සිට මුහුද දෙස බලා කාලය ගත කරනු වෙනුවට අපට එක්වී යම් දෙයක් කල නිසා අපට මානසික තෘප්තියක් ඇති වනු ඇත. අපි තවදුරටත් සාර්තක නම් අපිට පොත් පිංචක් මුද්‍රණය කර ගත හැකිවනු ඇත. එසේනම් අපි තවදුරටත් එකට පොත් ලිවීමෙහි යෙදෙනු ඇත. යම් දිනෙක නවකතාවක්? දෙදෙනෙක් එක්ව ලියූ සාර්තක නවකතාවක්? අපට තවදුරටත් එකට කාලය ගත කිරීමට හැකිවනු ඇත.

මම නැවත ඈ දෙස බැලීමි. ඈ ද මා දෙස බලා සිටියි.

"හරිද?" ඇය ඇසීය.

"හ්ම්"

"මොකද්ද ඔයාගෙ චරිතෙ නම?"

"මේ... මම නමක් නම් කල්පනා කරේ නෑනෙ" මම කීවෙමි. චරිතය පිළිබඳ කිසිවක් කල්පනා නොකල නමුදු ඈ හට එය පැවසීමට මා හට සිත් නොදේ.

"වයස?"

"17ක් 18ක් වගේ කියල හිතුවේ. ඊට පොඩ්ඩක් වැඩි වුනත් අවුලක් නෑ."

"හ්ම්ම් මමත් ඉතින් අපේ වයසෙ වගේ කියල තමයි හිතුවෙ."

මම සිනාසුනෙමි. ඇයද සිනාසුනි. අපි දෙදෙනම යමක් හඳුනාගත්තාක් මෙන් හැඟෙන්නට විය.

"උඹ ඇත්තටම චරිතෙ ගැන හිතුවද?" මම ඇසීමි.

"නෑ"

"මමත් නෑ" මම කීවෙමි.

ඒ කාලය තුල ඈ කුමක් සිතන්නට ඇත්දැයි මම නොදන්නෙමි. නමුදු ඈ එම චරිතය පිළිබඳ නම් සිතා නොමැති සෙයකි. ඈ අවංකව පිළිතුරු දෙන්නේද නැද්ද යන්න මට ඈ පිළිතුරු දෙන අයුරින් කිව හැක. මමද අවංකව පිළිතුරු නොදුන්නෙමි. ඇයද එය හඳුනාගත් සෙයකි.

"උඹේ කෙටි කතා අදහස මරු. ඒකෙ පලවෙනි අඩියවත් අපිට තියාගන්න බැරි වුනා. මං හිතන් හිටියෙ අපිට නවකතාවක් විතර ලියාගන්න පුලුවන් වේවි කියල." ඇය උපහාසාත්මකව කියන්නට විය.

"නවකතාවක්? උඹත් එච්චරක් දුර හිතුවද?"

"නෑ, මම අදහස් කලේ ඒක නෙවෙයි. අපි තාම පටන් ගත්තු තැනමයි. එතනින් එහාට යන්න කැමති නැද්ද?" ඇය කීය. නැවත සම්පූර්ණයෙන් අවංකව නොවන ස්වරයක් ඈ මුවින් නික්මෙයි.

"මචං පලවෙනි අඩිය තියන්න අපි දෙන්නගෙන් එක්කෙනෙක් හරි කතාව පටන් ගන්න ඕනෙ නේද? අමතක කරල දාහං ඔය නවකතාව." මම කීවෙමි.

"කෙටි කතාව නේ?" ඈ ඇසීය.

ඇය මා දෙස බලා සිනහසෙයි. මමද සිනාසුනෙමි. ඇයද මමද, අපි දෙදෙනම එකම සිහිනය දැක ඇත්තෙමු. අන්ත දෙකකින් දෙවිදියකට වුව අප දැක ඇත්තේ එකම සිහිනයෙකි. කුඩාවට අරඹා විශාල වන කතාවක් පිළිබඳ අප දෙදෙනව සිහින දැක ඇත්තෙමු. නමුදු අප දෙදෙනම අමතක කල දෙයක් විය. එනම් අප කතාවට ඇරඹුමයි. චරිත දෙකක් නොමැතිව කතාවක් නොමැත. අප තවමත් පලමු පියවර තැබිය යුතුය.

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි