Sunday, March 24, 2013

මෝටර් සයිකල් අයියා. (unedited)


එක දවසක් උදේ එක මල්ලි කෙනෙක් පාරක බයිසිකලයක් පැදගෙන යනවා. එයා බයිසිකලය කාලයක් තිස්සේ පැද පැද හිටියේ. හැබැයි ඔය මම කියපු දවස වෙද්දි ඒ මල්ලිට ඒ බයිසිකලේ මොකක් හරි අඩුවක් තියෙනවා කියල තේරෙනවා. ඒ දැන් හුඟාක් කාලේකට කලින් දවසක්. ඒ දවසේ මල්ලි හොයනවා උත්තරයක්. එයාට ඒක හොයාගන්න ලැබෙන්නේ නෑ.

ඒත් එදා හවස එයාගෙ පාර එයාට තිබුනු බයිසිකලයෙන් රජ කර කර ඉඳිද්දි එයා ඉස්සරහින් ලස්සන අලුත් මෝටර් බයිසිකලයක අයියා කෙනෙක් යන්ට ගියා. ඒ වෙලාවේ එයාට හිතුනා ඒක තමයි එයා හොයපු උත්තරේ කියලා. ලස්සන මොටර් සයිකලයක්. ඉතින් මෙයා ටක් ගාලා එයාගේ බයිසිකලේට නැගලා අර මොටර් සයිකල් අයියාගේ  පිටිපස්සෙන් යනවා. ඒ අයියාත් කොහොම හරි මෙයාව දැකලා පොඩ්ඩක් කතා කරනවා. දෙන්නා අතරේ සුහදතාවක් ඇති වුනාට පස්සේ එයා තේරුම් ගන්නවා එයාටත් මොටර් බයිසිකලයක් ගන්න පුලුවන්, ඒකට මහන්සි විය යුත්තේ එයාමයි කියලා.

ඉතින් මේ මල්ලි මාස ගාණක් වෙහෙසිලා මොටර් බයිසිකලයක් ගන්නවා. ඒත් ඒ වෙද්දි එයාට අර අයියා කොහේද කියල හොයා ගන්න ලැබෙන්නේ නෑ. එයා අර අයියාව හොයනවා ස්තුති කරන්න එයාට හරි පාර හොයා ගන්න උදව් කලාට. මාස ගාණක්. නමුත් එයාට හම්බු වෙන්නෙ නෑ මේ අයියාව.

ඒත් එක දවසක් එයාගෙ කණේ ටිකක් කල් ඉඳල තිබුන කරාබුවක් කණට කොඳුරලා කියනවා අර අයියා මෙතන ඉන්නවා, ගිහින් ස්තුති කරන්න ඕනෙනම් කියලා. ඔය කරාබුවේ කතාව හුඟාක් දිග, වෙනම කතාවක්. ඒ ගැන කතා නොකර ඉමු. ඉතින් මේ බයිසිකල් මල්ලි මොටර් සයිකල් මල්ලියෙක් වෙලා ගිහින් හම්බු වෙනවා අර මොටර් සයිකල් අයියාව ටිකකට.

ඊට පස්සෙ ටිකක් කල් ගෙවිලා යනවා. ටිකක් කල්. ඔය අතරෙදි අපේ බයිසිකල් මල්ලිට (ඉස්සර එහෙම කියපු නිසා තවම එහෙම කියමු ) හදිසියේ කොළඹ යන්න ඕනෙ වෙනවා. ඉතින් දැන් ඔය අධිවේගී පාරත් හදපු නිසා මෙයා අධි වේගයෙන් ඒක ගාවට යනවා. (ඔන්න ඉතින් මට කතාව වෙනස් කරන්න කම්මැලි නිසා අපි හිතමු අපේ හයිවේ එකේ මොටර් සයිකල් වලට යන්න දෙනවා කියලා)

ඉතින් ඔන්න ඔය දක්ෂිණ අධිවේගී එක ගාවදි මෙයාට පේනවා අර මොටර් සයිකල් අයියා තමන්ට ඉස්සරහින් යනවා. දැන් අධිවේගී පාරට ඇතුලුවෙන්න ඔන්න මෙන්න වගේ. මෙයා අයියා දිහා බලන්නෙවත් නැතුව අයියාව ඉස්සර කරලා ඉස්සරහට යනවා. හැබැයි පහු වෙද්දි එයාට දැනෙනවා එයාගෙ කකුල මොහොක හරි වදිනවා. ඒත් එයාට පිටි පස්ස හැරිලා බලන්න වෙලාවක් නෑ. එයා අධිවේගී පාරට ඇතුල් වෙනවා.

එතකොට එයා දකිනවා අර ඇතුල් වෙන තැන කිට්ටුව අතුරු පාරක අර මොටර් සයිකල් අයියා වැටිලා හොඳටම තුවාල වෙලා ලේ ගල ගල ඉන්නවා. ඒ කිට්ටුවක උදව්වක් කරන්න කවුරුත් නෑ. මේ මල්ලිට එතකොට මතක් වෙනවා එයා ඉස්සර කරද්දි වෙන්න ඇති නේද මේ අයියාගේ ඇඟේ වැදිලා අයියා වැටුනේ කියලා. ඒත් ඊලඟ පිටවීමට තව හුඟාක් දුර. ඒක හම්බු වෙනකන් යන්න තරම් වෙලාවක් තියෙද කියන්න මේ මල්ලි දන්නෙ නෑ.

මල්ලි අර අයියා දිහා බලනවා උඩ ඉඳන්. ඒ අයියා පහල ඉඳන් කෑ ගහල කියනවා "මල්ලී උඹ යන තැනක සතුටින් පලයන්, මට පුලුවන් මං ගැන බලාගන්න. මම වැටුනේ උඹ නිසා නෙවෙයි. උඹ යන ගමන උඹට වැදගත්, උඹ ඒක හිත කෙලින් තියාගෙන පලයන්" කියලා.

අයියාගේ කටහඬ මොකක් කියනවද කියල මෙයාට තේරෙන්නෙ නෑ. ලේ වලින් නෑවුන අයියා අඬනවද නැද්ද කියලා මෙයාට තේරෙන්නෙ නෑ. ඊලඟට මොනවා කරන්නද කියලා මෙයාට තේරෙන්නෙ නෑ. මල්ලි මෙතනදි අසරණයි. මල්ලි නිසා අයියා හුඟාක් අසරණයි.

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි