Saturday, March 23, 2013

වේදිකාවක්... (unedited)


(වේදිකාව මත y හිඳී. x එක් පසෙකින් ඇතුලු වෙයි.)

x: මේ වේදිකාව ලස්සනයි.

y: වේදිකාව? ලස්සනයි?

x: ඔව් අපි දෙන්නා ඒක උඩ තනියම.

y: (කුඩා සිනාවක් පාමින්) ඔයා එන්න කලින් ඉඳන්ම මම වේදිකාව උඩ තමයි හිටියේ.

x: මම දන්නවා.

y: ඔයා කොහොමද දන්නේ?

x: මමත් වේදිකාව උඩ තමයි හිටියේ ඔයා දැක්කේ නැති වුනාට. හැබැයි, අන්න අර තිරේට පිටිපස්සේ.

y: ඉතින් ඇයි ඔයා එලියට ආවේ නැත්තේ?

x: ඔයා ලස්සන නැටුමක් කර කර හිටියේ. මට මැදට පනින්න වුවමනාවක් තිබුනේ නෑ කොයිම වෙලාවකවත්. මම ඉස්සරහට ආවොත් ඔයා නැටුම නවත්තන බව මම දන්නවා.

y: මට අත්පුඩියක්වත් ගැහුවෙ නෑ ඔයා.

x: අත්පුඩි මම ගහන්න ඕනේ නෑ නේ? ප්‍රේක්ෂයෝ ඔයාට අත්පුඩි ගැහුවනේ. මට එතනත් මැදට පනින්න පුලුවන්ද? වේදිකාව උඩ ඉඳල එන අත්පුඩියක්? නාහ්

y: ඉතින් ඔයා ප්‍රේක්ෂකයෝ ඔක්කොම යනකන් ඉඳල වේදිකාව ඉස්සරහට එනවා?

x: මම මහ අවස්තාවාදියෙක් නේද?

y: ඇයි ඔයා එහෙම කියන්නෙ?

x: නෑ නිකමට හිතුනු දේ කිව්වේ. වැරද්දක් නෙවෙයි නෙ?

y: දන්නේ නෑ. අවංකවම.

x: ඔයා ප්‍රශ්නෙකද ඉන්නේ?

y: හ්ම්ම්... තරමක් දුරට.

x: මට උත්තරයක් හොයල දෙන්න පුලුවන්ද?

y: කාට හරි උත්තරයක් හොයල දෙන්න පුලුවන්නම් ඒ ඔයාට විතරයි. ඒත් මට ඒ ගැන විශ්වාසයක් නෑ දැන්.
x: මට කියන්න කියල කිව්වොත් ඔයා මට කියනවද?

y: (ලොකු කාලයක් කල්පනා කර ) ප්‍රේක්ෂකයෝ ඉල්ලනවා අපි දෙන්නා ඉන්න කතාවක්.

x: මම ඒක දන්නවා කිව්වොත්?

y: මම අහනවා ඒකට කැමතිද කියලා.

x: (එසැනින්) මම කැමතියි. හුඟාක්.

y: මමත්..... ගොඩාක් කාලෙක ඉඳලා. අපි මේ තත්පරේට රඟදක්වමු කතාවක්.

x: ඒකම නෙවෙයිද අපි මේ කරන්නේ. මමත් උන්නේ මේ ගැන හුඟාක් කාලයක් හීන දැක දැක.

y: මම ආසයි මේ මොහොතට.

x: මමත් හුඟාක් ආසයි. වේදිකාව උඩ තනියම ඉන්න, මුලු රඟහලටම ඇහෙන්න හයියෙන් කෑ ගහල අඬන්න. මේක අපේ මොහොත. හරි සුන්දරයි සහෝදරී.

y: ඒත් ඒක මේ මොහොතට විතරක් සීමා කරන්න සහෝදරයා.

x: (පුදුමයෙන්) ඇයි?

y: මම ලියලා ඉවර වුන කතාවක්. මට කැමති නෑ ඔයා මගේ කතාව මැදට ඇවිත් අතරමං වෙනවට. ඔයා හොයාගන්න ඔයාටම ගැලපෙන පිටපතක්, අධ්‍යක්ෂක වරයෙක්. ඔයා යන්න මේ ක්ෂේත්‍රයේ ඉදිරියටම. මම වේදිකාව පිටිපස්සේ ඉඳලා සතුටු වෙන්නම්. ඒත් මට ඔයා පොරොන්දු වෙන්න මම ඉන්න හැම පුංචි කතාවක්ම බලන්න ඔයා එනවා කියලා.

x: (තවමත් පුදුමයෙන්) ඇයි ඔයා එහෙම කියන්නේ? අපි කතාව එකට ලියමු. අපි අපේ පිටපත ලියාගමු. මං කැමතියි ඒ කතාව මැද අතරමං වෙන්න. ඒකට මට ඉඩ දෙන්න. මට වෙන පිටපත් එපා.

y: මට ඔයාට එහෙම වෙන්න ඉඩ දෙන්න බෑ.

x: "සහෝදරවරු හතලිස් දාහකට කවදාවත් බැරි තරමට මම එයාට ආදරය කලා"

y: හිහ් හිහ්. හැම්ලට්?

x: මම දන්නවා මට රඟපාන්න බෑ කියලා. මම දන්නවා මට හරි මොහොතෙදි හරි කතාව තෝරගන්න බෑ කියලා. මම දන්නවා කිසි තේරුමක් නැතුව මම ජනප්‍රිය වුනේ කියලා. ඒත් ඒ හැමදේටම වඩා මම දන්නවා මට මේ කතාව ලියන්න ඕනේ කියලා.

y: ඇයි ඔයාට මේ කතාවම ඕනේ? ඇයි ඔයාට මීට වඩා හොඳ කතාවක් හොයාගෙන යන්න බැරි? ඔයා රඟපාන ඒ ලොකු කතාව බලන්න මම එන්නම්. වේදිකාව පිටිපස්සෙ ඉන්නම්. නැත්නම් ප්‍රේක්ෂකාගාරයේ. ඔයා කියන තැනක.

x: මට ඕනේ ඔයා මාත් එක්ක මේ වේදිකාව උඩ ඉන්නවා දකින්න. ඔයාට එහෙම ඕනෙ නැද්ද?

y: ….

x: ඔයා අඬන්න එපා. ඔයා අඬනවට මම කැමති නෑ.

No comments:

Post a Comment

හිතුන දේ දැනගන්න ආසයි