Friday, February 15, 2013

අපි කවුරුද?


කවුරුද අපි කවුරුද
සිනහවකට පුදා දිවි
සදා දුක් විඳින අපි කවුරුන්ද
අපි කොහි සිට පැමිණියෙමුද
අපි කොහේ යන්නෙමුද?

කුඩා අඩි තබ තබා
මහා ගමනක යෙදෙන විලසට
අරමුණක් නැති අවසනක් නැති
අනන්තය වෙත ඇදෙන මාවතක
සෙමින් ඇදෙනා අපි කවුරුන්ද?

සතුට පිළිතුරක් වෙද
ලබාගැන්මට එය
අප සැම විඳින දුක දකින කල?
වෙනුවෙන් අපේ සිනහව
අන් සහසකගෙ සතුට සොම්නස
අපි උදුරනා කාලෙක
මේ අපි කොහි ඇදෙන ගමනක්ද?

Thursday, February 7, 2013

ඒ මගේ සඳයි.....



මා මිදුලට බැසීමි. හාත්පස වෙලාගත් ගණාන්ධකාරය දීප්තිමත්ව මා දෙනෙත් මත බැබලෙයි. සිසිලසක අංශුමාත්‍රයක් පමණක් ගෑවුනු ඒ පවන් රැලි මා සිටින බැව් නොතකාම සෙමින් කොහේදෝ ඇදෙයි. කෙමෙන් මැකී යන වසත් සිසිලස ග්‍රීෂ්මයට අත වනන්නේදැයි මම නොදනිමි. මා නොදන්නා තවත් දෙයකි. මා සිහින දකින්නේද නතිනම් සැබැවින්ම මෙහි සිටින්නේද? එය තවදුරටත් මා හට වැදගත් නොවේ.

මම පියවර දෙකක් ඉදිරියට තැබුවෙමි. හාත්පස කළු රෙදි කඩකින් වසා දමා ඇති සෙයකි. නුපුරුදු නිහඬ බව මා දෙසවන් මත මහ හඬින් ගී ගයන බව දැනේ. නමුදු කුමක් ගයන්නේදැයි මම නොදනිමි. දැන ගැන්මට අවැසිද නැත. මා හට සුපුරුදු නාගරික ඝෝෂාවන්හි නිශ්ශබ්ද බව හිතේ කොනක ගැබ්ව තිබේ. මේ එය මෙනෙහි කිරීමට කාලය නොවේ.

මම ඉදිරියටම යන්නෙමි. මා ස්වාවබෝධයෙන් ඇවිදිනවාට වඩා පරිසරය මා ඇවිද්දන බවක් දැනෙයි. මා සිරුරද මෝහනය වී ඇති සෙයකි. මා හට දිශාවක්, කාලයක් පිළිබඳ අවබෝධයක් නැත. මා සිරුර ප්‍රාණයෙන් නිරුද්ධදැයි සැකයක් මසිතේ හට ගන්නටද විය. පරිසරයද එක තීරණයකට එළඹි නැති සෙයකි. උණුහුමත් සිසිලත් අතර කොහේදෝ නොගැලපෙන කොණක පරිසරය සිරවී සිටී.

මම තවදුරටත් ඉදිරියට ඇදෙන්නෙමි. මා ක්‍රමයෙන් වණය තුළට යන බවක් හැඟේ. මා නිරුවත් උඩුකයෙහි ඇනී පැටලී පොඩි වුනු, කැඩුණු කුඩා අති රිකිලි බොහෝ විය යුතුය. නිශාචර ජීවියකුගේ සලකුණකුදු මා හට දැනෙන දුරකින් නොවේ. මා මෙහි සිටින්නේ තනිවමද? මම නැවතී පසුපස බැලීමි. ගණාන්ධකාරය මිස අන් කිසිවක් මට නොපෙනේ, නොවැටහේ.

මම කොහි යන්නෙම්ද? කුමක් සඳහාද? සිතෙහි චකිතයක් ගොඩනැඟී ඇත. ඉදිරියට මිස පසුපසට යාමක් මින් පසු නොමැති සේ හැඟේ. මම නැවත ගමන් ඇරඹුවෙමි. ටිකෙන් ටිකෙ සිරුරට ප්‍රාණය උණන බවක් හැඟෙයි. දැන් පමා වැඩිද?...... මම ඉදිරියටම ඇදෙමි.

කඩුපුල් සුවඳක් උඩු තොල මතින් නාස් පුඩු සිපගන්ට සැරසෙයි. සිසිල් නැති පින්නක් උණුහුම් නැති ගතට අමුතු හැඟීමක් ගෙන දෙයි. මා වනය පසුකර තැනිතලාවකට පැමිණි සෙයකි. මෙතෙක් දුර රළු පොළව මත පැමිණි මා දෙපතුල් තණ බිස්ස මත කෙළිදෙලෙන් ඇවිදිනු දැනේ.

දැඩි වෙහෙසක් මා ගත වෙලා ගන්නට විය. මා තණ බිස්සෙහි වැතිර ගතිමි. තණ පලස හරහා හමා යන සුලඟ මවනා සිරි සිරිය දෙසවන් පුරා දෝංකාර දෙයි. මා ළය අසල වූ තණ අගක රැඳි පිනි බිඳුවක් මාළය මතට පැන මා ගත කිති කවන්නට විය. මා අහස දෙස බැලීමි. කුමක් හෝ එලියක් අඳුරු වළාකුළු මැදින් එලියට එන්ට සැරසෙන සෙයකි. මා එදෙසම බලා සිටියෙමි. කෙමෙක් ඈත් වෙන අලංකෘත වළාකුළු රටා මැද බැබලෙන සඳකි.

ඒ මගේ සඳයි. මා මෙතෙක් කල් පැතූ සඳයි. මට වරක් මුණගැසුනු සඳයි. වළාකුළු විසින් වසාගත් සඳයි. අද මම සහ එසඳ තනියෙන්.....