Sunday, November 18, 2012

ජීවිතය තුල දේශපාලනය සහ දේශපාලනය තුල ජීවිතය?


තිසර කුරුකුලසූරිය: තිසර යනු පිට රටක අධ්‍යාපන කටයුතු නිම කර වසරකට පමන මෙරටට පැමිණි අයෙකි. තම පියාගේ ඇවෑමෙන් පසු පියාගේ ජීවිකාව වූ දේශපාලනයට පිවිසීමට ඔහු තීරණය කොට ඇත.

තේනුවර අංකල්: තේනුවර යනු තිසර ගේ පියා සමඟ වසර ගණනක් සිටි අයෙකි. ඔහු තිසර ගේ දේශපාලන ගමනේ පලමු පියවර තැබීමට උදව් කරයි.

දර්ශන පෙරේරා: දර්ශන යනු තිසර ගේ කුඩා කල සිටම හිඳි ලඟම මිතුරෙකි. ඔහු තිසරගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවයි.

*  *  *  *  *
(තිසරගේ පළමු මැතිවරණ රැස්වීම ඔහුගේ නිවසේ පැවැත්වීමට පෙර...)

තේනුවර: ඔක්කොම හරි නේද? කතාව බලාගත්තනෙ.

තිසර: ඔව් ඔව් තේනුවර අංකල් මං බලා ගත්ත.

තේනුවර: ඒක හොඳයි. වැඩිපුර ලෙහෙස්ති වෙන තරමට හොඳයි පුතා. බලන්න දැනටමත් මිනිස්සු එන්න පටන් අරං.

තිසර: (දිග සුසුමක් ලමින්) ඔව්මයි.

තේනුවර: තිසර පුතා කලබල වෙන්න එපා. හැමෝටම පලවෙනි සැරයක් තියෙනව. ඔයාගෙ තාත්තටත් තිබුනා. ඒකට බය නැතුව මුහුන දෙන්න. ඉස්සරහදි ඔය ඔක්කොම හරි යාවි. මිනිස්සු එක්ක හිනා වෙන්න. පුලුවන් තරම් කිට්ටු වෙන්න බලන්න හැමෝටම. පුලුවන් තරම් මිනිස්සු අඳුනගන්න. හැමෝම කරන දේ නෙවෙයි අපි කරන්න හදන්නෙ. මේවා ඔබතුමාට අලුතින් කියන්න ඕන දේවල් නෙවෙයිනෙ අනාගත මන්ත්‍රීතුමා.

තිසර: (සිනාසෙමින්) මං දන්නව ඒ හැම දේම. මිනිස්සු එක්ක හිනා වෙන එක ප්‍රශ්නයක් නෙවෙයි මට. ඒත් මට එක වෙලාවකට හිතෙනව තේනුවර අංකල් මම ඇත්තටම මේකට ලෑස්ති නැත්ද කියල.

තේනුවර: ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ ඔයාගෙ හිතේ. එලියට බහින්න. එලියට බැහැල බලන්න ඔයාව දන්නෙවත් නැති කී දෙනෙක් ඔයා වෙනුවෙන් වෙහෙසෙන්න බලාගෙන ඉන්නවද කියල. ඔයා වෙනුවෙන්, ඔයා දන්නෙ නැති ඔයා දැකල නැති දේවල් කරන්න කී දෙනෙක් ඉන්නවද කියල. ඔයා මේ ගමන යන්නෙ තනියෙන් නෙවෙයි. ඔයාව අඳුරන්නෙ නැති කී දෙනෙක් ඔයාට මෙහෙම උදව් කරන්න ඉන්නකොට ඇයි ඔයා මේකට ලෑස්තිද නැද්ද කියල හිතන්නෙ? පුතා, හිතේ චකිතයක් තියෙන එක සාධාරණයි. ඒත් ඔයා මේකට පුරුදු වෙන්න ඕනෙ. අපි යන ඒ දුර ගමනට පලවෙනි අඩිය අපි මෙහෙම තියමු.


තිසර: ඒකම තමයි මට තියෙන ප්‍රශ්නෙ තේනුවර අංකල්. මාව හරියට දැකපු නැති මුන ගැහිල නැති අය ඇයි මට උදව් කරන්නෙ? මම එයාල වෙනුවෙන් මොනවද කරල තියෙන්නෙ? එයාල බැඳිල නෑ මට උදව් කරන්න ඕන කියල. මට නොකරපු දෙයක් වෙනුවෙන් ක්‍රෙඩිට් ඕනෙ නෑ තේනුවර අංකල්. මම මේක දින්න කියමු, මම පොරොන්දු වෙන දේවල් මට කරන්න බැරිවුනොත් මම මේ හැම දෙනාටම ණය වෙනව නේද? එහෙම තියෙද්දිත් ඇයි එයාල මට ඇත්තටම උදව් කරන්නෙ?

තේනුවර: තිසර පුතා පොඩ්ඩක් හිතන්න. ඔයා කියන හැම දෙයක්ම ඇත්ත. ඒත් මෙතන මේ ඉන්න හැමදෙනාම මෙතන ඉන්නෙ ඔබතුමාම වෙනුවෙන් නෙවෙයි, අවංකව කතා කරනවනම්. මෙතන ඉන්න හැමෝම ඔබතුමාගෙ තාත්තට ණයයි. මෙතන ඉන්න හැමදෙනාටම ඔබතුමාගෙ තාත්ත මොන විදියක හරි උදව්වක් කරල තියෙනව. ඒක අමතක කරන්න එපා. ඒ මිනිස්සු ඔයා ගැන විශ්වාසය තියල තියෙන්නෙ ඔයාගෙ තාත්ත නිසා. ඒ විශ්වාසය බිඳින්නත් එපා.


(දර්ශන කාමරයේ දොර විවෘත කර කාමරයට පැමිණෙයි )

දර්ශන: මචං තිසර, පොඩ්ඩක් එලියට බැස්සොත් හොඳයි නේද එන මිනිස්සු එක්ක ටිකක් කතා කරන්න?

*  *  *  *  *

තිසර: මේ මචං දර්ශන පොඩ්ඩක් බලහන් කුස්සිය පැත්තෙ වැඩ ඔක්කොම හරිද කියල. මේ ඔක්කොම වතුරෙ නෙ ඒ පැත්ත හරි ගියෙ නැතොත්.

දර්ශන: හරි මචං මම එතන ඉඳන් තමා ආවෙ. ඒ ඔක්කොම හොඳින් කෙරෙනව.

තිසර: උඹ හිතනවනෙ 600කට කෑම ඇති වෙයි කියල?

දර්ශන: මචං උඹ ඒව ගැන කලබල වෙන්න ඕනෙ නෑ. මම ඒව බලාගන්නම්. මම ඒව බලාගන්නව කියල උඹ දන්නවනෙ. උඹ අහපු ප්‍රශ්නෙට උත්තරයක් ඕනෙනෙ? 600කට කෑම ඇති. වැඩි වුනොත් මිසක් මදි වෙන්නෙ නෑ.

(සහයකයෙක් නිවසට ඇතුලු වෙයි )

සහයක: සර් මේ.. අපි අර සවුන්ඩ් සිස්ටම් එක ටෙස්ට් කරල බැලුව. ඒ ඔක්කොම හරි. මං ඔය සින්දු ටිකක් දැනට දාල තියන්නම් නේ?

තිසර: ආ ඔව් ඒක හොඳයි. මේ වැඩිය විකාර මුකුත් නැතුව ඔය පරණ මොනව හරි ටිකක් දාන්න.


(සහයක පිටව යයි )

තිසර: මුං මට දැනටම සර් කියනව බං.

දර්ශන: ඉතින් නැතුව වෙන මොනව කියන්නද? අපි වගේ මචං බං කියල කතා කරන්නද? අපිටත් ඉතින් ඉස්සරහට සර් කියන්න වෙයිද දන්නෙ නෑ..

තිසර: (උපහාසයෙන්) ඔව් ඔව් මට මේ ඒක උඹට කියාගන්න බැරුව මෙච්චර දවසක් හිටියෙ.

(දෙදෙනම මඳකට සිනාසෙයි )

තිසර: සිරාවට මචං උඹල මට මේ කරන උදව් වලට කොහොම ණය ගෙවන්නද මන්ද බං. ඇත්තටම උඹ මේ වෙලාවෙ මගේ ලඟ ඉන්න එක ලොකු දෙයක්. උඹ ඉස්කෝලෙන් නිවාඩු දැම්මෙ මාස කීයකටද? සමාවෙයං ඒ ගැන.

දර්ශන: මචං පරණ යාලුවෙක්ට මේ වගේ උදව්වක් නොකර හිටියොත් අපෙන් ඇති වැඩේ මොකද්ද? මම මේ කරන්නෙ මට ඕන දේ. මම කරන්නෙ මට හරි කියල හිතෙන දේ. ඒකට උඹ සමාව ගන්න ඕනෙ නෑ. අනික මේ මාස දෙන තුන අදින්න ඉස්කෝලෙට මාව ඕනෙම නෑ.


(කෙටි නිහඬතාවකින් පසුව )


දර්ශන: මචං උඹ පරදිනවට බයද?

තිසර: ඔව් මචං මම බයයි. මට මග නවතින්න වෙන ගමන්, පටන් ගන්න මම කැමති නෑ.

දර්ශන: උඹ හිතනවද මේ ගමනෙදි උඹ මග නවතීවි කියල?

තිසර: (කෙටි නිහැඬියාවකින් පසු ) ඔව්

දර්ශන: මචං මට දැන් උඹට කියන්න බෑ උඹ මග නවතීවිද ගමනෙ එහා කොනටම යාවිද කියල. මම එහෙම කියන්න දන්නෙ නෑ. එහෙම කියන්න වෙන කිසි කෙනෙක් දන්නෙත් නෑ. හැබැයි උඹ මතක තියාගනින් උඹ මේ ගමන යන්නෙ තනියෙන් නෙවෙයි. උඹ මග නැවතුනොත් උඹ එක්ක මග නවතින්න අපි ගොඩ දෙනෙක් ඉන්නව. උඹ ගමන ඉවර කරොත් ඊට වඩා ගොඩක් දෙනෙක් ඉඳීවි උඹත් එක්ක. හැබැයි මතක තියාගනින් උඹ ඒ ගමන ඉවර කරේ නැතත් එකෙක් හරි උඹත් එක්ක ඉන්නව කියල. උඹ හිතන්න ඕනෙ මග නවතින එක ගැන නෙවෙයි. ගමන යන්නෙ කොහොමද කියන එක ගැන. උඹේ කරත්තෙට මොන වෙලාවක හරි අශ්වයෙක් ඕනෙනම් මට කියහන්. මං එන්නම් අදින්න.


තිසර: මචං මට උඹ ලඟ ඉන්න එක කොහොම හයියක්ද කියල විස්තර කරන්න තේරෙන්නෙ නෑ බං.

දර්ශන: ඒව ඕනෙ නෑ. යමුනෙ එලියට? කට්ටිය බලාගෙනත් ඇති නෙ.

තිසර: හොඳයි අපි යමු. මෙතනින් එහාට අපේ ජීවිත වෙනස් වෙන ගමනක් පටන් ගමු.

*  *  *  *  *

(තිසර වේදිකාවේ අසුන් ගෙන සිටියි. දර්ශනද පසුපසින් සිට ගෙන සිටියි. තේනුවර පැමිණි ජනතාව අමතමින් සිටියි )

තේනුවර: (මයික්‍රෆෝනයට ) ඉතින් මේ සුන්දර වූ හැන්දෑවේ, අපි අපේ අත් දෙක එකතු කරමු අපි හැමෝම බලං හිටිය අවස්ථාවට. අපි ආරාධනා කරමු ඔබ හැම අමතන්නට අපේ මේ පරම්පරා දෙක අමුණන පුරුකට. අපි ආරාධනා කරමු අපේ බලාපොරොත්තුවට. අපි ආරාධනා කරමු අපේ අනාගතයේ වර්තමාන නියෝතියාට. මයික්‍රෆෝනය ඔබට භාරයි මැතිඳුනි, තිසර කුරුකුලසූරිය.

(තිසර මයික්‍රෆෝනය වෙත පැමිණෙයි. තිසර තම කතාව ලියූ කොළයද රැගෙන කතාව අරඹයි.)

තිසර: ගරුතර මහා සංඝරත්නයෙන්ද, අප නගරාධිපති නාමල් පෙරේරා ඇතුලු සම්භාවනීය අමුත්තන්ගෙන්ද අවසරයි; අම්මේ.. තාත්තේ.. අයියේ අක්කේ, නංගියේ මල්ලියේ.

මීට වසරකට ඉස්සෙල්ලා, මේ මගේ ශ්‍රී ස්වර්ණ භූමියේ නැවත පා තබනකොට, වසර ගාණක් තිස්සෙ මගේ හිතේ තිබුනු මතකයන් වගේම හීන විශාල ප්‍රමාණයකට පණ ආව වගේ දැනුන. මට මගේ හදවතේ ඒ වෙනකන් අක්‍රීය වෙලා වගේ තිබුන පැත්තක් ආපහු ක්‍රියාත්මක වෙන්න පටන් ගත්ත වගේ දැනුන. ඒ වෙල් යායවල් මැදින් යනකොට දැනෙන ගමේ සුන්දර සුවඳ මට අමතක වෙලා තිබුන නෙවෙයි. මගේ හදවතේ කැටයමක් වගේ ඒ දේවල් රැඳිල තිබුන.

මං පොඩි කාලෙ ඉගෙන ගත්තෙ මේ රටේ, මං හැදුනෙ වැඩුනෙ මේ රටේ; මාව මම අද ඉන්න තැනට ගෙනාව ඒ මගේ මාතෘ භූමියට පොඩි හරි සේවයක් කරන්න පුලුවන්නම්, ඒ සඳහා මගේ ලේ මස් ඇට නහර ඕනෙ දෙයක් දන් දෙන්න වුනත් මම බැඳිල ඉන්නව කියල ඔබ සැමට මතක් කරල දෙන්න මම කැමතියි.

(තරමක් චකිතයකින්) මගේ තාත්ත ඔබ වෙනුවෙන්, මේ ගම වෙනුවෙන්, මේ නගරෙ වෙනුවෙන්, මේ රට වෙනුවෙන් කරපු දේවල් මං මතක් කරන්න කැමතියි. අපේ ගමේ පන්සලට යන පාර හදල දීපු දවසෙ ඉඳල, නගරෙ මැද ගුවන් පාලමක් හදනකම් සහ ඊට පස්සෙත්, තාත්ත ඔබ වෙනුවෙන් කැප වුනා කියන එක ඔබ සැමට මතක ඇති කියල මම හිතනව.

මේ ගමේ පුස්තකාලෙ හදල, අපේ ඉස්කෝලෙ යන හැමෝටම කොච්චර උදව් කලාද කියල මම මතක් කර දෙන්න අවශ්‍ය නැහැ. පන්සලේ දහම් පාසලට ගොඩනැගිල්ලක් හදපු දවසෙ ඉඳල අර පොල් අතු මඩුවෙ ඉගෙන ගත්තු අපේ සහෝදර සහෝදරියන්ට කෙතරම් සෙතක් වුනාද කියල මම අමුතුවෙන් කියන්න අවශ්‍යත් නෑ.

අපි බලමු මේ ගමෙන් එහා, මේ නගරෙන් එහා.. මගේ පියාණන් ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට, පිට පලාත්වල ක්‍රීඩාවට දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශිෂ්‍යත්ව ලබා දුන් හැටි මම මේ අවස්තාවේදී මතක් කර දෙන්න කැමතියි. මෙතෙක් කල් ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් ලැබුනු පහසුකම් වගේම ප්‍රාග්ධනය අනෙක් ක්‍රීඩාවන්ගේ දියුනුව සඳහාත් ලබා දුන් හැටි ඔබට මතක ඇති.


මම හැදුනෙ වැඩුනෙ ඒ වගේ පරිසරයක.

(කෙටි නිහැඬියාවකින් පසු තිසර තම කතාව ලියූ කඩදාසිය හතරට නවයි )

තිසර: (කුඩා සිනාවක්ද සමඟ ) තාත්තගෙ ගුණ ගායනා කරල ඉවරයි. (හතරට නැවූ කොලය පෙන්වමින්) මේ තියෙන්නෙ මගේ කතාව. ඉතුරු ටිකේ තියෙන්නෙ ඇයි ඔබ සියලු දෙනා මාව පත් කල යුත්තෙ කියන එක. අවංකවම අපේ තේනුවර මහත්මය ඉතාම ලස්සනට ඒක ලියල තිබුන. ඒත් ඇයි මම මේ මගේ සහෝදර සහෝදරියන් එක්ක මයික්‍රෆෝනයකින් කතා කරන්නෙ? ඇයි මම මේ ස්ටේජ් එකක් උඩට වෙලා?

මං මෙච්චර වෙලා කතාව කලේ හිතට එකඟව. මම ඒක පිලිගන්නව. හැබැයි අවංකවම කිව්වොත් හදවතට එකඟව නෙවෙයි. ඇයි මම මාව මාර්කට් කරන්න මගේ තාත්තව පාවිච්චි කරන්නෙ? මට තනියෙන් මාර්කට් වෙන්න බැරිද?

මම මේ වැඩේ පටන් ගන්නකොට මගෙන්ම අහපු ප්‍රශ්න ගොඩක් තිබුන. මට මේක කරන්න පුලුවන්ද? මට මේක සුදුසුද? මේකට මම සුදුසුද? හැබැයි ප්‍රශ්නෙ තිබුනෙ එතන නෙවෙයි. මම ඔයාලට සුදුසුද, ඔයාලට මම සුදුසුද? ඔව් එකම දේ තමයි, ඒක වැරදීමක් නෙවෙයි. 

ඉතින් මම ඔයාලගෙන් අහන ප්‍රශ්නෙ මොකද්ද? අපේ මේ දේශපාලනය අද තියෙන්නෙ කොහෙද.... ඒ දේශපාලනය ඇතුලෙ ඔබ හැමෝම මට මනාපය දෙන්න ඕනෙ ඇයි?

ඒකට උත්තරයක් මට දෙන්න බෑ. හැබැයි මේ දේශපාලනේ තියෙන්නෙ හරි තැනක නෙවෙයි කියන එක මගේ පෞද්ගලික අදහස. අපි පොඩියට පටන් අරන් දවසක ඒක හරි තැනකට ගේන්න ඕන කියන පෞද්ගලික මතේ මම දැඩිව ඉන්නව. ඉතින් ඒ වගේ ලොකු කන්දක් නගින්න තියන පලවෙනි අඩියක් විදියට මම මේක සලකන්න කැමතියි. 

මං අවංකව කියන්නම්, මට ඔබ කාටවත් කිසිම පොරොන්දුවක් දෙන්න බෑ. මට කිසිම දෙයක් සහතික කරන්නත් බෑ. හැබැයි මම දන්නව මට කරන්න පුලුවන් දේ. මට පුලුවන් ඔබ සියලු දෙනාටම ඇහුම්කන් දෙන්න. මම දන්නව මට පුලුවන් ඔබ සියලු දෙනාවම අහගෙන ඉන්න. ප්‍රශ්න මට කියන්න. මාත් එක්ක බෙදා ගන්න. සමහරවිට මට උත්තරයක් දෙන්න බැරි වේවි. එහෙම දවසක මම ඔබත් එක්ක එකට අඬන්නම්.

සමාවෙන්න. මගේ මැතිවරණ ව්‍යාපාරය ආරම්බ කරන්න සුදුසුම විදිය මේක නෙවෙයි වෙන්න ඇති. ඒත් මගේ හෘද සාක්ෂියට පිටින් මට කතා කරන්න අමාරුයි. (තේනුවර දෙසට හැරී) තේනුවර අංකල් සමාවෙන්න. කතාවෙ කිසිම වරදක් නිසා නෙවෙයි ඒ කතාව මම නොකලෙ.

ඉතින් ඔබම හිතල තීරණය කරන්න මට ඔබේ මනාපය දෙන්න සුදුසුද නැද්ද කියල. ගොඩක් ස්තූතියි මගේ තාත්ත මත අවුරුදු ගාණක් තියපු විශ්වාසයට. ඒත් ඒ විශ්වාසයම මං උඩ තියන්න එපා.

ස්තූතියි....

(තේනුවර පුදුම වී විටින අතර, තිසර, දර්ශන දෙස බලයි. දර්ශන සිනාවක් සමඟම හිස වනා තිසර කියූ දෑ අනුමත කරයි.)

*අවසන්*