Friday, October 26, 2012

මුල් පදය නැති කවක්


නූගත් මනස පීර පීරා
සොයන මුත් පද,
ලියනට නවමු කවක්;
මුල් පදය මත
පිටු ගණන් වැය කළ මට
විවේකය ලැබුනු විගස
පෑනේ තුඩට 
කෙළ උනන්නට විය.
කාමරේ මුල්ලක තිබුනු
කිලිටු හිස් කඩදාසියක
තින්ත පුරවත්ම,
පෑන හිතට කරනා ඔච්චම්,
හිතටත් දරාගත නොහැකි ඇති.
වර්ණවත් සරත් තුරු ලතා,
වසත් හරිත වන රේඛා,
ධවල ශීත ඇතිරිලි මත
හිත මා රැගෙන යන චාරිකාවත්
පෑනට එරෙහිවම වෙන්ට ඇති.
වචන වනයක සිර වුනත්
එපිට අදහස් සයුර වෙත
යන මඟක් නොසොයන්ට
පෑන කෙතරම් කපටිද?
වඩදිය ඉහල නැඟ නැඟ
වචන වනයම පීරා
පෑන තෙක් පැමිනෙන්නට
හිතත් කොතරම් කපටිද?

Wednesday, October 24, 2012

හිත කෙසේ ඇහැරෙයිද?



දෙනෙත් හැර හිටියාට
නිදි නේද හිත තාම..
ඉදිරියට යන පියවරට
සියක් පිය පසුපසෙට
රැගෙන යන ලෝකයක
හිත කෙසේ ඇහැරෙයිද?

ජීවිතය නම් කැන්වසයේ
සිත්තරාට ඉඩ නොදී
අන් සැවොම පාට තවරන කලෙක
හිත කෙසේ ඇහැරෙයිද?

පවුරු වලළු මැද
වහල් නළුවන් යොදා
පවුරෙන් එපිට 
තණබිම් වසන් කරනට
සැනකෙළි නටන විටෙක
හිත කෙසේ ඇහැරෙයිද?

මායා, මාලා වලළු,
ගෙල බැඳි යදම් වී
ඉදිරියට යන අපව
ගැටගසා දමන විට
දෙනෙත් හැර සිටින මුත්
හිත කෙසේ ඇහැරෙයිද?

නොපවතින තාප්ප,
වැට කඩොළු, සීම මායිම්
පැන යන්ට හැකිද
නොඅවදි සිතකින්?

පියාගමු දෙනෙත්
අවදි වන අදහසින්,
බලමු ලොව දෙස සිතින්
සිත අවදි නොමැති නම්
දෙනෙත් හැර කිම පලක්..