Sunday, August 19, 2012

නොලියන්නට සිටි කවියක්


ඉහිරුණු රුහිරු බිඳ බිඳ අමුණා තනන
මුතු ඇට මාලයකි මුළු දිවියම තමන
මේ පියගැටෙහි නැඟුමම අහුරා දමන
කිසිවක් සබඳ නොකරනු වෙනුවෙන් තමන

විස විස කටුය ගෙනවිත් හේ දමන්නේ
රස රස කැවිලි වෙනුවට ගෙට තමන්නේ
වස විස ගාගත්තු කල මුව තමන්නේ
හිස මිස ඇතුල නොව අඹු දරු රකින්නේ

බෝතල් කුප්පි නිදි පෙති හෙම එපා එපා
ජීවත් විය යුතුය සැමදෙන අපා දෙපා
හද ගිනි වසා වුව උඹ රඟ පපා පපා
හිඳින් ඉවසපන් උන් කයි විපා විපා

සබඳ, සොයුර දෙසොයුරියන් මවා ගනින්
කිම් විය හැකිද උඹ නැති උන් හිඟා කමින්
ලොකු උදවිය කුමක් කරතත් උඹේ නමින්
හිටහන් කෙලින් මියැදෙනතෙක් මවගෙ ලඟින්

දහසක් කතා කියනට උන් සිටීවී
උන් ඉදිරියෙහි උඹ උස බව දැනේවී
මතු යම් දිනෙක උන් උඹෙ පා සිඹීවී
එතකන් හිඳින් අපි උඹ ලඟ හිඳීවී

රට කා පිට රටට හේ පැන ගියාට
උඹ රැක ගනින් මුලු පවුලම එදාට
රැවටෙන්නට එපා බොරු සුමිතුරාට
උඹ අම්තක වේවි අද හිනැහුනාට