Tuesday, July 24, 2012

මගේ ඔඩිසිය


1
පොහොට්ටුවකි,
දිනෙක සුවඳ විහිදා වැඩෙන මලෙක;
දිය බිඳකි,
මහා රළ බිඳි සයුර වෙත යන;
ඇරඹුමකි,
ශීත ඍතුවෙහි පියා සලා
දකුණ බලා යන විහඟෙකුගේ ගමනක;
හීනයකි,
නිපැයුමකි,
කඳුලකි,
පරම්පරා ගණනක මුතුන් මිත්තන්ගේ;
සිනහවකි,
කඳුළකි,
බලාපොරොත්තුවකි,
තරුණ මාපිය යුවලක,
විදුලි පන්දම් එලියෙන් මෙලොව සොයනා...

2
ඇවිද යයි,
මෙලොව ඇති සියලුම කාලය
තමනට ඇතැයි සිතා;
සිනහසෙයි,
දහසක් දෙනා හඬනා නිමේශයක;
හඬයි,
ලොවම සිනහව මවන මොහොතක;
සඳ තරු වලාකුළු අල්ලන්න,
පාට පාට හීන ලෝක වල සැතපෙන්න
චොකලට් මාලිගා, සීනි කඳු
සෙල්ලම් බඩු කරත්ත...
අද නැති නිදහසක් එදා
මුළු ගතම වෙලාගෙන...
ඇහි පිය ගහන හැම මොහොතකම
හිත තුළ මැවෙන සුන්දර හීන
ඒ ලෙසම හැමදාම
රැඳුනි නම් මා සමඟ....
ලෝකයම දෙදෙනෙක්ම විය;
ඉන් එපිට හිස් අවකාශයක් විය.

3
තාර දැමූ මඟක
වේගයෙන් පැදි බයිසිකලය...
උපන් දිනයට ලැබුනු බයිසිකලය...
තවමත් දිර දිරා පිළිකන්නෙහි ලගින
බයිසිකලය....
තවම මතකයි බයිසිකලයට
ගියපු හැටි පිට්ටනි වලට, එකට,
බැට්, බෝල, පොල් පිති අරං..
එක එකා එකතු කර කර
ටවුම වටේ ගියපු හැටි...
සෙරෙප්පු කෑලි,
හිස් දෙපතුල්,
පැඩල් එක කොච්චර නම්
රත් කරාද ඒ දවස් වල...
නපුරු නෑ කාලය... නෑ...
බයිසිකලයට අමතක නෑ
ඒ සුන්දර යුගය,
හිනා වුනු හැටි,
කෑ ගහපු හැටි,
බැනුම් අහපු හැටි,
එක හීනයක් හැබෑ කරගන්න...
හැමදාම බයිසිකලෙන්
ටවුම වටේ රවුමක් යන්න.

4
හීන?
ඒ මොනවද.....
හීන?
ඒ කවුද.....
ඇහි පිල්ලමක් අග රැඳුණු
දුහුවිලි බිංදුවක්...
තව විනාඩියකින් ඇහැ තුළට යන
ගිය විගස එහි ගිනි දවන...
සිතන්නට තිබුනා ද
වැලි වල සෙල්ලම් කරන්නට පෙර.....
ලඟට ලං වෙනකම් සොඳුරු වූ
ලඟට ආ විට විසි කරන්නට අපහසු...
එක් අතක ඇපල් ගෙඩියක්
අනෙකෙහි දොඩම්
ඉන් එකක් ගැන තීරණයක්...
අනාගතයම තීරණය කරනා....
හීනයක තේරුම නොදත් කාලෙක
කෙසේ තීරණ ගනිම්ද?
දවස අහවරයි...
හීන, තීරණ කුණු බාල්දියට....
අවැසි එක දෙයකි,
ඊලඟ දිනයට පෙර කුඩා නින්දක්.

5
ඇඟිලි තුඩු එක එක
වරින් වර සිඹ සිඹ
වැයෙනා අලංකෘත
සොඳුරු වූ ස්වර
මා ප්‍රේමයෙන් වෙලයි
සොඳුරු වූ ගිටාරය සමඟ..
සැමදා මා ලඟින් ඉනු ඇත
කිසිදිනෙක මා හැර නොයා...
උයන්, කොටු පවුර,
මුහුදු වෙරළ, මහ වීදිය,
හැම තැනම,
හිඳිනු ඇත අප එකට
මියෙන තුරු සදා
අතැර යනු නොමැත මා කිසිදින....

6
බසයකි
මුළු දිනම නො නවතින,
අත දැමූ විට
වේගය බාල කරතත්
කිසිවිටෙක නොනවතින...
නැග ගතිමි වෙර යොදා;
යන්නෙමි ඉදිරියට
බසය තුළ හිඳ...
නැවතුමට බෝ දුරය
තවම මා හිටගෙනය
නැවතුමෙහි නැවැත්තුවහොත් හොඳය....

7
වයන්නෙමි තත්, තවම..
නඟයි හඬ, ඒ ගිටාරය..
පිවිතුරු නොමැත පෙර ලෙස...
හැකිය මට එය වයන්නට හොඳට
එය ගත් කලට වඩා..
අවැසිය අලුත් ගිටාරයක්
තිබෙනා ගිටාරයට වඩා හොඳ..
මිලදී ගත යුතුය මා;
නමුදු අත්හල යුතුය
පැරණි ගිටාරය පළමුව;
මෙතුවක් කල් ලඟම හිඳි
එය අත්හරිනු කෙසේද?
බියකරු වුවත් තීරණය ගත යුතුය
ඉතින් ආයුබෝවන්
මා සොඳුර

8
උපැස් යුවලකි
මා ප්‍රාණවත් දෙනෙත් ඉදිරිපිට
පෙර කිසි දිනෙක නො තිබුනු...
දුහුවිලි බැඳේ ඒ මත
සෑම දින,
දුම් රිය ගමනෙහි දි
රැකියාවට යනෙන...
දුහුවිලි වැකුණු
දහඩිය සමඟ ගුලි වුනු
උණුහුම් කඳුලක්
කොපුල් මත ඇවිද ගොස්
සිඹී දෙතොල්...
ලුණු රසයි ජීවිතය...
නෑ
ජීවිතය තිත්තයි....
සීනි බෝතලය හා
පැණි බෝතලය මිය ගොසින්.....

9
පරණයි අලුත් ගිටාරය
මුත් තවම එය මා අසල
හෙමින් සැරේ පෙමින් බැඳී
ටිකෙන් ටික ලං වෙයි
මා හට වයන්නට එය
සෙමින්....
වයන්නෙමි මම
වාරු තිබුනිනම් දෑතෙහි
හඬන්නට කඳුළු නො ගලයි
දෙනෙත් මලකඩ කා ඇති හෙයින්
හිරු පරණයි, සඳුත් පරණයි
දහවල පරණයි, දුකයි
රැයත් පරණයි..
පැරදෙන්නට ජීවිතෙන්
ජීවිතය තරඟයක් වුනානම්...

10
දිනෙක පොහොට්ටුවක් විය
දිනෙක සිනාසුනෙමි නිදහසේ
දිනෙක සැරි සැරීමි ලෝකයම
බයිසිකලයෙන්
දිනෙක සැතපුනෙමි
සිහින අමතක කොට
දිනෙක වාදනය කළෙමි
මා පලමු ගිටාරය
දිනෙක බසයක නැඟ ගියෙමි
නැවතුම එන තෙක්
දිනෙක මිලදී ගතිමි
නවමු, හොඳ ගිටාරයක්
දිනෙක පැළඳුවෙමි මා
උපැස් යුවලක්
තව දිනෙක තේරුම් ගතිමි
හඬන්නට කඳුළු නැති බව
දෙනෙත් මලකඩ කා ඇති හෙයින්....
මා වැතිර සිටින්නෙමි සයනයෙහි දැන්
සිනාසෙමින් තනිවම
පියවෙයි කෙමෙන් මා දෙනෙත්
සැමදේ සිතෙහි මව මවා

Monday, July 23, 2012

කිරිල්ලියක විය ඕ


කිරිල්ලියක විය ඕ
එදා දහසක් ගැටුම් මැද
තනිව නැගිට
තමන් වෙනුවෙන් යුද කළ...
කුරුල්ලකු විය හේ
දහසකුත් සමච්චල්, කතා මැද
අතැර නොයනා බවට දිවුරූ...
සොඳුරුය හීන මැවු අයුරු
තැනුමට කැදැල්ලක් එකට
දැනෙන නොදැනෙන වියක සිට වුව....

ඉගිල ගියහ උන්
අන් දේශයක් කරා
මේ සිර කූඩුවෙන් මිදී
සිහින සපුරා ගැනුමට..
තැනුමට තමනටම කැදැල්ලක්....

කල් යත්ම ආ
කිචි බිචි හඬක් සියුමැලිය
අනෙක් හඬ රුදුරුය, ගොරෝසුය..
කුරුළු පැටවෙකු සිනහසෙද්දී
ඉගිල යයි කුරුල්ලා
තමන්ගේම කැදැල්ලක් තැනුමට
අන් පාට කිරිල්ලියක සමඟම....

හඬන්නට කඳුලු නොඉනුවාට
දැවෙන දෙනෙතෙහි රැඳුනු සුසුමක
උනුහුමට නිදයි පැටවෙකු
උකුල් තලයෙහි කිරිල්ලිය ගේ...

සතයෙන් සතය (පවුමෙන් පවුම ), වසරින් වසර
එකතු කර ඉතිරි කර
ඈ ඇති දැඩි කළ
ඒ කුරුළු පැටවා අද
කිරිල්ලියක වී ඉගිල ගොස් ඇත
කුරුල්ලකු සමඟ වෙනත් රටකට

කිරිල්ලිය නොහඬයි
කිරිල්ලිය නිහඬයි
ඒ කිරිල්ලිය හට
තවත් ඉවසනු අවැසිද?