Wednesday, March 28, 2012

සැණකෙලියෙහි අවසන් හෝරාව


වලාකුලු නොමැති අහසට
යොමු කරන විදුලි එලි
තරුවල, සඳෙහි පතිතව
පොළොවට එළිය දුන් හෝරාවේ,
නේක වර්ණ මිණි පහන්
දැල්වී නිවී රටාවට
හිත වටා ගමන් කරයි
විදුලි වේගයෙන්...

දිනයේ අවසන් ටිකට් පත
රැගෙන මියැදුනු දරුවන් හා
මියැදුනු අඹුත් ගැන මතකය,
ගුලි කොට වීසි කර දමා
නඟිනෙමි ඒ මහා
රෝලර් කෝස්ටරයට තනිවම....

මහා ප්‍රපාතයකි, වැටෙන්නට පහලට
තව මොහොතකින්;
ඉන් වැටී කටු බිඳී මියැදෙන්නට
ඉඩ ලබා නොදෙන ආසන පටිය
ඔච්චම් කරයි මට,
ප්‍රපාතය අභියස දී....

පිරී සිටි සෙනඟ සැණකෙලියෙහි
කෙමෙන් මැකී යන හෝරාවක
අතීතයෙහි හා අනාගතයෙහි දුහුවිලි
මා දෙඇස් අන්ධ කරයි...

දැන්,
නොපෙනෙයි මහට ඒ ප්‍රපාතය
ප්‍රපාතයට වැටෙන විට,
නොසිතමි අතීතය ගැන
සිතනෙමි දැවෙන නෙතු ගැනම පමණක්..

හුළඟක්



හුළඟක්
රතු පාට හුළඟක්
හුළඟට පාට තියෙනවද
දන්නෙ නෑ...
ඒ උනාට ඒ හුළඟ රතු පාටයි
ඒ දුමක් වෙන්න ඇති..
සනීපයි..... නිදිමතයි මට..
ඒ දුමක් නම්, මී දුමක් වෙන්න ඇති
හැම තැනම ඒ රතු පාට..
පරන මොන්ටිසෝරිය, අපි සෙල්ලම් කරපු පිට්ටනි,
කුඹුර, අර මහා කන්ද
හැමදේම වෙලාගෙන ලස්සන රතු පාටකින්..
හීතලයි ඒ හුළඟ
හරි හීතලයි...
ලස්සනයි
ඒ හුළඟ මාව අරං යන පාර
හරි ලස්සනයි........
උණුහුමයි
ඒ හුළඟ මාව නතර කරවන නිවහන
උණුහුමයි
මේ මහ පොළොව යට........

Monday, March 19, 2012

ධවල...


සුදු පාට
හැම අතම සුදු පාටය.
සුදු පාට අවකාශයකි.
එහි එක් අතෙක
විලකි.
දිය සුදු පාටය.
එහි සුදු රෙදි කඩක් හැඳි කතකි
දණක් දියෙන් වැසුනු.
මෙපිට ගල් තලාවකි
සුදු පාට.
එමත රාජාලියෙකි සුදු පාට.
නෑ............................
ඇත රාජාලි දෙපතුල්හි රතු යමක්.
දැන් ගල් තලාවෙහි ගෑවෙන.
සුදු දිය විලද කැලතෙයි.
මතුව ඇත අන් පාට
අවකාශයෙහි ඒ...
නිල් පාට අහසක්...
කොළ පාට තුරු ලතා...
ධවල ලෝකය මැකී ගොසින් දැන්..
නමුදු පාවෙයි විලෙහි දිය මත
සුදු පාට රෙදි කැබැල්ලක්....

ඈත කඳු හෙල්


ඈත කඳු හෙල් සොඳුරු නෑ
මෑත වද මල් සුවඳ නෑ
නොදුටු විසිතුරු දිලෙන රෑ
නොමැත රිසි මට සුසුම් ලෑ

පවනෙ පාවෙන ගිනි අවි
වෙහෙසි මසිත ත නිදි බිඳී
සිතට එඩිතර කම දිදී
ගැයෙන ගී හොඳටම වැඩී

ගැහෙන පණ තුරු වල පවා
දැවෙන දෙරණත ඇත වසා
වැහෙන ලේ රතු නැති නිසා
දුටුව රෙදි ඉන් තෙත් කළා

Saturday, March 17, 2012

විසල් නුවරක සිතුවිල්ලක් 2


සුවඳයි
ඒ මහා පුරෙහි ගැවසෙන
සහසකගෙ රතු රුහිරු
දහඩිය කඳුලු සුවඳයි;
එකට පැටලුනු
බස් දහසකුත්
සංස්කෘති බර ගණන්
තට්ටු සිය ගණන් වුන
කුලුණු යට, කුලුණු තුල
ගැවසෙන විටෙක
රත්වී ගිනියම් වූ
මහ පොළොවෙන් නැඟෙනා
පුසුඹ සුවඳයි;
සුදු පාට, කලු පාට,
දුඹුරු පාට, රෝස පාට,
කහ පාට මිනිසුන්,
තම තමන්ගේ දෑස් අතුරින්
බලා නොබලා යනෙන මං පෙත්
තවම සුවඳයි;
නොදන්නා මං මැද
ලොවම පසිඳුවු නගරෙක
තනිව ජීවය සොයනට
දුහුවිලි වැකුනු
දූෂිත වාතයට
තනිවම හෙලනා
සහසකගෙ සුසුම්
සදා සුවඳයි;
එසැම දැකුමට
දෙනෙත් එලි කල
මගේ මව් රට තවම,
සැමදා එක සේ සුවඳයි.....

-නිව් යොර්ක් නුවරදී සිතුනු සිතුවිල්ලකි

කෙලවරක්............


තරු නිල් වලා
සයුර රළ ජල තලය
මුලු ලොව, පොළොව
නිම වෙන අගක්
ගැට්ටක් තිබේ නම්
කරමි තරණය
සොයන්නට ලොව
කෙලවරක
ඇති නිදහසක්
තව නව ලොවක්
හඬ හඬ හිඳි කලට
මට අහවරක්.
ඒත් අහෝ ලොව ගෝලයක්
මොන පැත්තෙන් ගියත්
එකම තැන නැවතෙන
කලින් අඬ අඬ හිටි එතැනටම
දෙමඟකින් කැරකී වැටෙන.
සොයනු කුමකට
කෙළවරක්
හිඳිමු මිය යන
පැරණි ලොව තුලම
හඬ හඬ...

Tuesday, March 13, 2012

විසල් නුවරක සිතුවිල්ලක්


සොඳුරු පුරයකි
ඇසෙහි ගැටෙනා
පයට පෑගෙන
තැන තැන උයන් විසිරුණු
සැම තැන සෙනඟ ගැවසුනු.

ගුවන් තල සිඹිනා
පහන් ටැඹ සිය ගණන්
අතින් අත සැම අතම
පවුරු සේ වැඩ හිඳී

නවමු ලොවකට
අලුත් හැඟුමක
අපි පෙර නොදුටුව
නොපැතූ
දොරටුවක් සේ හැඟෙයි සැමවිට
මේ මහා පුරවරය.

සැබැවින්ම පියකරුය,
දසුන් පියකරු වුවත් කෙතරම්
හැඟුම් හඳුනා නොගෙන
කුමන පිරියක්ද හදකට

මුලු සිතම ප්‍රශ්නාර්ථයෙකි,
විසල් වීදුරු බිත්ති පතුලත
සයුර වැනි මහ සෙනඟ මැද
තනිව හිඳිනා විටෙක

ලොවෙහි අන් පස නතර වුනු හද
නැවත කිසිදින ලඟට එයිදෝ
ලඟට නාවත් පැරණි උනුහුම
හදින් කිසිදින මැකී යාවිද?

- නිව් යෝක් නුවර සිට