Monday, February 20, 2012

ටී පනස් හයකි ඇමති මුරපොලක


නිල ඇඳුමේ බොත්තම්ද හැර
තනි තරුවේ ඔච්චම්ද මැද
නිදි මැරුවේය කුස ගින්න මැද
ඇමති මුරපොලෙහි තනිවම..

මැදියමැයි ඔරලෝසුව කියද්දී
සිඹියි දෙකණ්,
නිවසින් ගෙනා වෑර්ලසයෙන්
නික්මෙන සප්ත ස්වර..

අඳුරුය අවට
බිය නැත රාජකාරිය නිසාවෙන්,
කඳුලුය දෙනෙත
නොදුටුව නිසා ඈ
සති ගණන් මෙපිටට..

බුදු රූපයකි සිත සරි කරලන්ට
පින්තූරයකි ඈ ලඟක නැති හෙයින්
සුදු කාරයකි රතු නිල් පාට දැල්වෙන
හැම රාත්‍රියකම විත්
නිදිද නැතිදැයි සොයා බලනා...

අමතකව නැත ගමම
ගෙවයි සමනල් වියම
යවයි රුපියල් ගමට
හිඳී හේ මුරපොළක

අහිංසක ටී-පනස් හයකි ඔහු
දිවා රෑ නිදි කිරණ
පාලු පොඩි මුරපොලක

Monday, February 13, 2012

සඳෙහි ඇලවූ කඩදාසි


හිතේ කම්මැලිකම මකන්නට
අත් ඔරලෝසුව ඉදිරිපිට හිඳගෙන
ටෙලිෆෝනයට කන් දෙමින්
ටෙලිවිෂනයේ හඬ අඩු කරන විට
ජනේලය ඇතුලෙන් කුස්සියට
පෑයූ සිකුරු තරුවේ විලාපය
ලතා මංගේෂ්කාර් ගේ ගීතයක් විලසට
කණ සිදුරු කරන්නට වත්ම
මුහුණ බලා නොසිට මුහුණ හෝදගන්ටැයි
කණ්ණාඩිය මිමිනුවේ
බිත්තියේ එල්ලී සිටි සංගක්කාරටද
නොදැනෙන්නටය..

ඉන්ද්‍රචාපයක නැඟ
යමුණා නදීයෙන් මුහුණ හොදා
අරාබිකරයට පිය නැඟුවේ
තෙල් මිල දැනගැනීමට නොවන බැව්
හොඳින් දැන සිටි ශබ්ද කෝෂය
මට නොතේරෙන කුමක් හෝ භාෂාවක්
කියාදෙන්නට තැත් කලේ
ලෝක වෙළඳ පොළ ගැන අනුකම්පාවෙන්
විය යුතුය...

ත්‍රිකුණාමලයෙදී
තේ කෝප්පයක් බොන්නට
කෝපි කඩයකට බට විට
ලුණු මිල ගණන් යාමෙන්
කිරි සදා නොදෙන බව
කොත්තුවක් දමමින් සිටි කාල් මාක්ස්
මට කියන්නට වීමෙන්
මඩකලපුවෙහි
ගෙයක් තනන්නට තිබූ සිහිනය
එසැනින් බිඳ වැටුනි...

රෝස මලක් කඩා ගන්නට
විල්පත්තුවට ගිය විට
අපේ සියලුම ආශාවන්
අන්තර්ජාලයෙන් ලබා ගත නොහැකි බැව්
පසක් වන්නට වූවත්
රෑ අහසෙහි
කඩදාසි වලින් ඔතා තිබූ
පුන් සඳට රෝස මලදී
වලාකුලකට ආදරෙයි කියූ පසු
හිත සමඟ ඕමි ගැසූ කාඩ් කූට්ටම
මදෙස බලා රවන බැව්
දැක ගතිමි...

නමුදු දැන්
සඳෙහි ඔතා ඇති
කඩදාසි ඉවත් කරනට කාලයයි.....

Sunday, February 12, 2012

තොරණ..

කිසිවකුත් මැසිවිලි 
නොනැඟු දිනයක
තනන්නෙමි මම
කඩදාසි  තොරණක්...
බුදු රූප නැති,
බල්බ් වැල් නැති,
කතාවක් නැති,
පාට කොල නැති...
තොරණ සදනට
ඇති ආසාව නිසාම පමණක්..
වෙසඟ සැමරුම
දිවිය වූ විට
අතෙහි ඇත්තේ
කඩදාසි පමණක්ම නම්,
තිබෙන දෑ වලින් 
සදනු යෙහෙකිද?
බුදු රූප නැති නම්,
ජාතක කතා නැති නම්,
සදා ඇත්තේද
කඩදාසි වලින් පමණකි නම්
එය තොරණක්ද?

Tuesday, February 7, 2012

සිනහව නම් විලාපය හෙවත් විලාපය නම් සිනහව



අරමුණක් නැති ඇරඹුම
නැවතුමක් නැති අදිටන
සිය ගණන් දන පිනවන
විලාපයෙකිය සිනහව..

උවනෙහි පින්තාරු කළ සිනාවට
හැකිනම් මකා දමනට,
කඳුලු කැට ලෙස 
ඇද හැලෙන,
දැවෙන සිහිනෙක ජීවය,
සැබෑ විය හැක යම් දිනෙක
කලු පාටින් ඇඳෙන
අතරමඟ වැරදුනු 
ඒ සොඳුරු චිත්‍රය.....

වැරදීම දරුණුය;
නමුදු ලොව ඉදිරියෙහි
සිනාවෙත් ඕ විලාපය වෙනුවට..
දිවා රෑ පැටලී
අයාලේ වැලලුණ ජීවයෙහි
අවසාන නිමේශය
ගෙල බැඳි කඹයකින් නික්මෙන
විලාපයෙකිය;
නමුදු ඒ විලාපය,
සිනහවෙකි ඈ හට...

Thursday, February 2, 2012

විභාගය වෙත


ආදරණීය විභාගය,
ඔබ සුව පහසුවෙන් සිටිනවා කියල මම සිතනවා. මමත් මෙහේ හොඳින් ඉන්න බව කියන්න කැමතියි. මල්ලිව මතක් කලා කියන්න. මල්ලිව මුණගැහිලත් දැන් අවුරුදු 7ක් වෙන්නත් ඇවිත්. කාලය අපිට උඩින් පියාඹල යන විදිය දකිනකොට හරිම පුදුමයි. ඔබේ වැඩ හැමදෙයක් ම හොඳින් කෙරෙනව කියල හිතෙනව. අයියා ලෙඩ වෙලා හිටිය කියල ආරංචියි. ඇස්. බී. වෙදමහත්තයගෙ බෙහෙත් වලින් හොඳ වෙන්න ඇති කියල හිතනව. මොනව උනත් හීනෙන්වත් අයියව මට මුණනොගැහෙන එක ගැන වෙලවාවකට ගොඩක් සතුටුයි. මොකද මම දන්නව අයියා ඔබට වඩා කොච්චර නපුරුද කියල. අඩු ගානෙ ඔබව මුණගැහිල තිබුනනම් අයියා මොන වගේද කියල පොඩියට හරි හිතා ගන්න තිබුනා.

තව දෙයක්; මට ගිය සතියෙ මෙහේ ඔබට ගොඩක් දුරින් ඥාති වෙන කෙනෙක් මුන ගැහුන. හැබැයි මොන අතින් බැලුවත් එයා ඔබටයි අයියටයි වඩා පොඩියි. අනික හැම සෙමෙස්ටර් එකක් අවසානෙදිම වගේ එන නිසා ඔබව දකින්න තියෙනව වගේ අගයකුත් නෑ.

ඔබ දන්නවද දන්නෙ නෑ ඔබේ මල්ලි හමු වුන දවසෙ ඉඳල මට එක හීනයක් තිබුනු බව. ඔව්, ඔබව මුන ගැහෙන එක මට හීනයක් වෙලා තිබුනෙ. ඉස්කෝලෙ යන්න යන්න, පන්තියෙන් පන්තිය වසරින් වසර ඉහල යන්න යන්න ඔබව මුන ගැහෙන්න තිබුනු ඒ ආසාව වැඩි වුනා මිසක් අඩු නම් වුනේ නෑ. දහය වසරෙදි අපේ වයසෙ අනිත් හැමෝම වගේම මමත් ඔබව මුණගැහෙන්න මහා පරිමාණයෙන් සූදානම් වුනා මතකයි. මම දන්නව බහුතරයක් දෙනා ඔබව හමු වෙන්න කැමැත්තකින් හිටියෙ නැති බව. හැබැයි සත්තයි, මම කැමැත්තෙන් හිටියේ, මීට කලින් කාටවත් කියල නොතිබුනාට ඒ බව.

අවුරුද්දක් ඉවර වෙනකොට ඔබව මුන ගැහෙන්න බොහොම ලං වෙන බව දැනුන. ඒ දවස් වල ජීවිතේ ඊට වඩා රළු කරගන්න වෙයි කියල හිතුවට කිසි වෙනසක් නැතුව ගෙවිලා ගියා. ඔබට අවබෝධයක් නෑ ඔබව මුණ ගැහෙන්න අපි ආපු ගමනෙ අපි හිතින් ඡායාරූප ගත කරපු අපූරු තැන්. ඒ තැන් ආපහු හමු වුනත් නැතත් හිත කියන රීල් එකෙන් මකන්න බෑ. නෑ, මගේ හිත ඩිගිටල් කැමරාවක් නෙවෙයි.

ඔබව මුණ ගැහෙන්න අවුරුද්දක් විතරක් තියෙන බව දැන ගත්තු වෙලාවෙ අවුරුදු දෙකක් ගැන තීරණ ගත්ත මතකයි. ඒත් මම හිතුවෙ නෑ අවුරුද්දකුත් මාස 4ක් යනකොට ඒ තීරණ, ඔබව මුන ගැහෙන්න තිබුන හීනෙ වගේම ඔබ මුණ ගැහුනට පස්සෙ කරන්න හිතේ තිබුනු හැමදෙයක්ම පාලමක් උඩ ඉඳන් විසි කරපු මල් අහුරක් වගේ මගෙන් ඈත් වෙයි කියල.

මට හැමවෙලාවකම ඕනෙ වුනා ඔබ මුණ ගැහුනම ඔබ  මට මොකද්ද කරන්නෙ කියල බලන්න. ඔබව හමු වෙන්න මට කලින් ආපු අයට මල් දීල පිලිගත්තු වෙලාවල්, කනට ගහල එලවගත්තු වෙලාවල් හැම දෙයක් ම මම දැකල තියෙනව. ඉතින් අවුරුදු දෙකක මහන්සිය ඔබ මට මොනව කරාවිද කියල බලන එක.

නෑ, ඔබ මාව වැරදියට තේරුම් ගන්නව වගේ. මට ඕනෙ වුනේ මට ඔබ කරන්නෙ මොකද කියල බලන්න විතරයි. මට කොයි වෙලාවකවත් ඕනෙ වුනේ නෑ වෙන කිසි කෙනෙක්ට සාපේක්ෂව ඒ දිහා බලන්න. මම දන්නව බහුතරයක් තමන් ඔබව හමු වෙන විදියට වඩා අනුන් ඔබ හමු වෙන විදිය බලන්න ආසාවෙන් හිටිය බව. නෑ, සත්තයි මම එහෙම දෙයක් හිතේ තියන් හිටියෙ නෑ.

ඔබ සමහරවිට මාව නොදන්නවත් ඇති. ඔව්, මාව කොහොම දැන ගන්නද? ඔබව හමු වෙන හීනෙ හිතේ තියාගෙන හිටිය දහස් ගානකින් එක්කෙනෙක් විතරයි මම. කොහොම හරි ඔබව දකින හීනෙ හිතේ තියාගෙන ඒ වෙනුවෙන් මහන්සි වෙලා ඔබව දකින්න මාස හයක් තියාගෙන රටින් එපිට වුනු කෙනෙක් මම.

මට කවද හරි දවසක ඔබව ආයෙමත් හමු වෙන්න ඕනෙමයි. හැබැයි ඒ අර පරණ දවස් වල වගේ දාඩිය පෙරාගෙන ඔබ හමු වෙන්න බාධක බහු කරං ආපු ළමයෙක් විදියට නෙවෙයි. මට ආපහු ඔබව හමු වෙන්න ඕනෙ ඔබ මට එතකොට මොනව කරාවිද කියල බලන්නත් නෙවෙයි. මම ඔබව ආපහු දවසක හමු වුනොත් තියෙනව ඔබෙන් අහන්න දෙයක්. ඒක එදාට අහන්න තියාගන්න හිතෙන්නෙ කවද හරි ඔබව හමු වෙනකන් තව පරම්පරා ගානකගෙ ජීවිත ඔබේ අතේ තියෙන නිසා. ඔබ හමු වුනාට පස්සෙ ලෝකෙටම පේන්න හිනා වෙන දහස් ගණනක් තවත් ඇති වෙන නිසා. මේ කතාව ඔබටත් ඔබේ අයියාටත් කියන්න ලොකුම ලොකු වුවමනාවක් මට තිබුනා.

ඔබත් දවසක තේරුම් ගත යුතුයි, ඔබට මේ හැම දෙනෙක් ගෙම ජීවිත එක්ක සෙල්ලම් කරන්න බැරි බව. අපි හැමෝම මහන්සියෙන් රැකගෙන ආපු රිමෝට් එක ඔබට දෙන්නෙ ඔබ ඒක රකීවි කියන අදහසෙන් මිසක් ඔබ අපිව පාලනය කරයි කියන අදහසින් නෙවෙයි. ඔබ ඒක ඔබේ අයියාගෙ අතින් තියනකොට අපි අපේ අම්මල තාත්තල හරි, නැත්නම් ඔබම හරි කියන චැනල් එකක් දාල ඉවරයි. මතක තියාගන්න, ජීවිතේ කියන්නෙ ඒ ඔබ අපිට දාල දෙන චැනල් එක විතරක් නෙවෙයි කියල.

ඔබ තරම් මිනිසුන්ව යාන්ත්‍රීකරණය කරන්න දක්ෂ කෙනෙක් මට මුන ගැහිල නැති බව කියන්නම ඕනෙ. නිදහස් චින්තනයක් කියල පොඩ්ඩක් හරි තියෙන කෙනෙක් පාගල යට කරල දාල අච්චු පොතක් ඔලුවෙ ගිල්ලගත්තු අයව අහසින් තියන එක වරදක් නෙවෙයි. නමුත් ඒ ගිලුන අච්චු පොතට එහා අපිට ජීවිතයක් තියෙන්න ඕනෙ කියන එක ඔබට කියන්න ඕනෙ වුනා.

මම දන්නවා මම නිදහස් චින්තනයක් තියෙන මනුස්සයෙක්වත් ප්‍රයෝගිකව ජීවිතේට මුහුණ දෙන කෙනෙක් වත් නොවන බව. හැබැයි ඔබ මේ ලිපිය කවදහරි දැක්කොත් මතක තියාගන්න  මම වගේම තව දහස් ගානක් එහෙම නොවෙන එකට වග කියන්න ඕනෙ ඔබ බව. මම දන්නව වැරැද්ද මගේ කියල. මම ඔබව මුණගැහෙන්න හීනයක් තියාගත්තු එකයි වැරැද්ද. කවදහරි ඒ වැරද්ද මුලු අනාගතේම පරම්පරාවල් කරන එක නවත්තන්න තියෙනවනම්.............

තවත් හීනයක්, ඒත් හීන මත තමයි ජීවිතේ අඳෙන්නෙ. මම මෙහේ සීතලේ, ඒත් සතුටින් ඉන්නවා. හැබැයි හිතේ තියෙනවා එක හීනයක්. ඒ හීනෙ කොහොම හරි සැබෑ කරගන්නම්, කවද හරි ඔබව මුන ගැහෙන්නම්. ඔබව මුණගැහෙන්න වුවමනාව විතරයි අවශ්‍ය. එහෙනම් අදට ආයුබෝවන්! කලින් මුණ ගැහුනනම් අපි හොඳ මිතුරන් වෙන්න තිබුනා. එහෙනම් අද මම කියන්නෙ වෙනම කතාවක්.

ස්තුතියි.
මීට,
දෙවින් සංජුල ප්‍රේමසිරි