Sunday, November 18, 2012

ජීවිතය තුල දේශපාලනය සහ දේශපාලනය තුල ජීවිතය?


තිසර කුරුකුලසූරිය: තිසර යනු පිට රටක අධ්‍යාපන කටයුතු නිම කර වසරකට පමන මෙරටට පැමිණි අයෙකි. තම පියාගේ ඇවෑමෙන් පසු පියාගේ ජීවිකාව වූ දේශපාලනයට පිවිසීමට ඔහු තීරණය කොට ඇත.

තේනුවර අංකල්: තේනුවර යනු තිසර ගේ පියා සමඟ වසර ගණනක් සිටි අයෙකි. ඔහු තිසර ගේ දේශපාලන ගමනේ පලමු පියවර තැබීමට උදව් කරයි.

දර්ශන පෙරේරා: දර්ශන යනු තිසර ගේ කුඩා කල සිටම හිඳි ලඟම මිතුරෙකි. ඔහු තිසරගේ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවයි.

*  *  *  *  *
(තිසරගේ පළමු මැතිවරණ රැස්වීම ඔහුගේ නිවසේ පැවැත්වීමට පෙර...)

තේනුවර: ඔක්කොම හරි නේද? කතාව බලාගත්තනෙ.

තිසර: ඔව් ඔව් තේනුවර අංකල් මං බලා ගත්ත.

තේනුවර: ඒක හොඳයි. වැඩිපුර ලෙහෙස්ති වෙන තරමට හොඳයි පුතා. බලන්න දැනටමත් මිනිස්සු එන්න පටන් අරං.

තිසර: (දිග සුසුමක් ලමින්) ඔව්මයි.

තේනුවර: තිසර පුතා කලබල වෙන්න එපා. හැමෝටම පලවෙනි සැරයක් තියෙනව. ඔයාගෙ තාත්තටත් තිබුනා. ඒකට බය නැතුව මුහුන දෙන්න. ඉස්සරහදි ඔය ඔක්කොම හරි යාවි. මිනිස්සු එක්ක හිනා වෙන්න. පුලුවන් තරම් කිට්ටු වෙන්න බලන්න හැමෝටම. පුලුවන් තරම් මිනිස්සු අඳුනගන්න. හැමෝම කරන දේ නෙවෙයි අපි කරන්න හදන්නෙ. මේවා ඔබතුමාට අලුතින් කියන්න ඕන දේවල් නෙවෙයිනෙ අනාගත මන්ත්‍රීතුමා.

තිසර: (සිනාසෙමින්) මං දන්නව ඒ හැම දේම. මිනිස්සු එක්ක හිනා වෙන එක ප්‍රශ්නයක් නෙවෙයි මට. ඒත් මට එක වෙලාවකට හිතෙනව තේනුවර අංකල් මම ඇත්තටම මේකට ලෑස්ති නැත්ද කියල.

තේනුවර: ඔය ප්‍රශ්නෙ තියෙන්නෙ ඔයාගෙ හිතේ. එලියට බහින්න. එලියට බැහැල බලන්න ඔයාව දන්නෙවත් නැති කී දෙනෙක් ඔයා වෙනුවෙන් වෙහෙසෙන්න බලාගෙන ඉන්නවද කියල. ඔයා වෙනුවෙන්, ඔයා දන්නෙ නැති ඔයා දැකල නැති දේවල් කරන්න කී දෙනෙක් ඉන්නවද කියල. ඔයා මේ ගමන යන්නෙ තනියෙන් නෙවෙයි. ඔයාව අඳුරන්නෙ නැති කී දෙනෙක් ඔයාට මෙහෙම උදව් කරන්න ඉන්නකොට ඇයි ඔයා මේකට ලෑස්තිද නැද්ද කියල හිතන්නෙ? පුතා, හිතේ චකිතයක් තියෙන එක සාධාරණයි. ඒත් ඔයා මේකට පුරුදු වෙන්න ඕනෙ. අපි යන ඒ දුර ගමනට පලවෙනි අඩිය අපි මෙහෙම තියමු.


තිසර: ඒකම තමයි මට තියෙන ප්‍රශ්නෙ තේනුවර අංකල්. මාව හරියට දැකපු නැති මුන ගැහිල නැති අය ඇයි මට උදව් කරන්නෙ? මම එයාල වෙනුවෙන් මොනවද කරල තියෙන්නෙ? එයාල බැඳිල නෑ මට උදව් කරන්න ඕන කියල. මට නොකරපු දෙයක් වෙනුවෙන් ක්‍රෙඩිට් ඕනෙ නෑ තේනුවර අංකල්. මම මේක දින්න කියමු, මම පොරොන්දු වෙන දේවල් මට කරන්න බැරිවුනොත් මම මේ හැම දෙනාටම ණය වෙනව නේද? එහෙම තියෙද්දිත් ඇයි එයාල මට ඇත්තටම උදව් කරන්නෙ?

තේනුවර: තිසර පුතා පොඩ්ඩක් හිතන්න. ඔයා කියන හැම දෙයක්ම ඇත්ත. ඒත් මෙතන මේ ඉන්න හැමදෙනාම මෙතන ඉන්නෙ ඔබතුමාම වෙනුවෙන් නෙවෙයි, අවංකව කතා කරනවනම්. මෙතන ඉන්න හැමෝම ඔබතුමාගෙ තාත්තට ණයයි. මෙතන ඉන්න හැමදෙනාටම ඔබතුමාගෙ තාත්ත මොන විදියක හරි උදව්වක් කරල තියෙනව. ඒක අමතක කරන්න එපා. ඒ මිනිස්සු ඔයා ගැන විශ්වාසය තියල තියෙන්නෙ ඔයාගෙ තාත්ත නිසා. ඒ විශ්වාසය බිඳින්නත් එපා.


(දර්ශන කාමරයේ දොර විවෘත කර කාමරයට පැමිණෙයි )

දර්ශන: මචං තිසර, පොඩ්ඩක් එලියට බැස්සොත් හොඳයි නේද එන මිනිස්සු එක්ක ටිකක් කතා කරන්න?

*  *  *  *  *

තිසර: මේ මචං දර්ශන පොඩ්ඩක් බලහන් කුස්සිය පැත්තෙ වැඩ ඔක්කොම හරිද කියල. මේ ඔක්කොම වතුරෙ නෙ ඒ පැත්ත හරි ගියෙ නැතොත්.

දර්ශන: හරි මචං මම එතන ඉඳන් තමා ආවෙ. ඒ ඔක්කොම හොඳින් කෙරෙනව.

තිසර: උඹ හිතනවනෙ 600කට කෑම ඇති වෙයි කියල?

දර්ශන: මචං උඹ ඒව ගැන කලබල වෙන්න ඕනෙ නෑ. මම ඒව බලාගන්නම්. මම ඒව බලාගන්නව කියල උඹ දන්නවනෙ. උඹ අහපු ප්‍රශ්නෙට උත්තරයක් ඕනෙනෙ? 600කට කෑම ඇති. වැඩි වුනොත් මිසක් මදි වෙන්නෙ නෑ.

(සහයකයෙක් නිවසට ඇතුලු වෙයි )

සහයක: සර් මේ.. අපි අර සවුන්ඩ් සිස්ටම් එක ටෙස්ට් කරල බැලුව. ඒ ඔක්කොම හරි. මං ඔය සින්දු ටිකක් දැනට දාල තියන්නම් නේ?

තිසර: ආ ඔව් ඒක හොඳයි. මේ වැඩිය විකාර මුකුත් නැතුව ඔය පරණ මොනව හරි ටිකක් දාන්න.


(සහයක පිටව යයි )

තිසර: මුං මට දැනටම සර් කියනව බං.

දර්ශන: ඉතින් නැතුව වෙන මොනව කියන්නද? අපි වගේ මචං බං කියල කතා කරන්නද? අපිටත් ඉතින් ඉස්සරහට සර් කියන්න වෙයිද දන්නෙ නෑ..

තිසර: (උපහාසයෙන්) ඔව් ඔව් මට මේ ඒක උඹට කියාගන්න බැරුව මෙච්චර දවසක් හිටියෙ.

(දෙදෙනම මඳකට සිනාසෙයි )

තිසර: සිරාවට මචං උඹල මට මේ කරන උදව් වලට කොහොම ණය ගෙවන්නද මන්ද බං. ඇත්තටම උඹ මේ වෙලාවෙ මගේ ලඟ ඉන්න එක ලොකු දෙයක්. උඹ ඉස්කෝලෙන් නිවාඩු දැම්මෙ මාස කීයකටද? සමාවෙයං ඒ ගැන.

දර්ශන: මචං පරණ යාලුවෙක්ට මේ වගේ උදව්වක් නොකර හිටියොත් අපෙන් ඇති වැඩේ මොකද්ද? මම මේ කරන්නෙ මට ඕන දේ. මම කරන්නෙ මට හරි කියල හිතෙන දේ. ඒකට උඹ සමාව ගන්න ඕනෙ නෑ. අනික මේ මාස දෙන තුන අදින්න ඉස්කෝලෙට මාව ඕනෙම නෑ.


(කෙටි නිහඬතාවකින් පසුව )


දර්ශන: මචං උඹ පරදිනවට බයද?

තිසර: ඔව් මචං මම බයයි. මට මග නවතින්න වෙන ගමන්, පටන් ගන්න මම කැමති නෑ.

දර්ශන: උඹ හිතනවද මේ ගමනෙදි උඹ මග නවතීවි කියල?

තිසර: (කෙටි නිහැඬියාවකින් පසු ) ඔව්

දර්ශන: මචං මට දැන් උඹට කියන්න බෑ උඹ මග නවතීවිද ගමනෙ එහා කොනටම යාවිද කියල. මම එහෙම කියන්න දන්නෙ නෑ. එහෙම කියන්න වෙන කිසි කෙනෙක් දන්නෙත් නෑ. හැබැයි උඹ මතක තියාගනින් උඹ මේ ගමන යන්නෙ තනියෙන් නෙවෙයි. උඹ මග නැවතුනොත් උඹ එක්ක මග නවතින්න අපි ගොඩ දෙනෙක් ඉන්නව. උඹ ගමන ඉවර කරොත් ඊට වඩා ගොඩක් දෙනෙක් ඉඳීවි උඹත් එක්ක. හැබැයි මතක තියාගනින් උඹ ඒ ගමන ඉවර කරේ නැතත් එකෙක් හරි උඹත් එක්ක ඉන්නව කියල. උඹ හිතන්න ඕනෙ මග නවතින එක ගැන නෙවෙයි. ගමන යන්නෙ කොහොමද කියන එක ගැන. උඹේ කරත්තෙට මොන වෙලාවක හරි අශ්වයෙක් ඕනෙනම් මට කියහන්. මං එන්නම් අදින්න.


තිසර: මචං මට උඹ ලඟ ඉන්න එක කොහොම හයියක්ද කියල විස්තර කරන්න තේරෙන්නෙ නෑ බං.

දර්ශන: ඒව ඕනෙ නෑ. යමුනෙ එලියට? කට්ටිය බලාගෙනත් ඇති නෙ.

තිසර: හොඳයි අපි යමු. මෙතනින් එහාට අපේ ජීවිත වෙනස් වෙන ගමනක් පටන් ගමු.

*  *  *  *  *

(තිසර වේදිකාවේ අසුන් ගෙන සිටියි. දර්ශනද පසුපසින් සිට ගෙන සිටියි. තේනුවර පැමිණි ජනතාව අමතමින් සිටියි )

තේනුවර: (මයික්‍රෆෝනයට ) ඉතින් මේ සුන්දර වූ හැන්දෑවේ, අපි අපේ අත් දෙක එකතු කරමු අපි හැමෝම බලං හිටිය අවස්ථාවට. අපි ආරාධනා කරමු ඔබ හැම අමතන්නට අපේ මේ පරම්පරා දෙක අමුණන පුරුකට. අපි ආරාධනා කරමු අපේ බලාපොරොත්තුවට. අපි ආරාධනා කරමු අපේ අනාගතයේ වර්තමාන නියෝතියාට. මයික්‍රෆෝනය ඔබට භාරයි මැතිඳුනි, තිසර කුරුකුලසූරිය.

(තිසර මයික්‍රෆෝනය වෙත පැමිණෙයි. තිසර තම කතාව ලියූ කොළයද රැගෙන කතාව අරඹයි.)

තිසර: ගරුතර මහා සංඝරත්නයෙන්ද, අප නගරාධිපති නාමල් පෙරේරා ඇතුලු සම්භාවනීය අමුත්තන්ගෙන්ද අවසරයි; අම්මේ.. තාත්තේ.. අයියේ අක්කේ, නංගියේ මල්ලියේ.

මීට වසරකට ඉස්සෙල්ලා, මේ මගේ ශ්‍රී ස්වර්ණ භූමියේ නැවත පා තබනකොට, වසර ගාණක් තිස්සෙ මගේ හිතේ තිබුනු මතකයන් වගේම හීන විශාල ප්‍රමාණයකට පණ ආව වගේ දැනුන. මට මගේ හදවතේ ඒ වෙනකන් අක්‍රීය වෙලා වගේ තිබුන පැත්තක් ආපහු ක්‍රියාත්මක වෙන්න පටන් ගත්ත වගේ දැනුන. ඒ වෙල් යායවල් මැදින් යනකොට දැනෙන ගමේ සුන්දර සුවඳ මට අමතක වෙලා තිබුන නෙවෙයි. මගේ හදවතේ කැටයමක් වගේ ඒ දේවල් රැඳිල තිබුන.

මං පොඩි කාලෙ ඉගෙන ගත්තෙ මේ රටේ, මං හැදුනෙ වැඩුනෙ මේ රටේ; මාව මම අද ඉන්න තැනට ගෙනාව ඒ මගේ මාතෘ භූමියට පොඩි හරි සේවයක් කරන්න පුලුවන්නම්, ඒ සඳහා මගේ ලේ මස් ඇට නහර ඕනෙ දෙයක් දන් දෙන්න වුනත් මම බැඳිල ඉන්නව කියල ඔබ සැමට මතක් කරල දෙන්න මම කැමතියි.

(තරමක් චකිතයකින්) මගේ තාත්ත ඔබ වෙනුවෙන්, මේ ගම වෙනුවෙන්, මේ නගරෙ වෙනුවෙන්, මේ රට වෙනුවෙන් කරපු දේවල් මං මතක් කරන්න කැමතියි. අපේ ගමේ පන්සලට යන පාර හදල දීපු දවසෙ ඉඳල, නගරෙ මැද ගුවන් පාලමක් හදනකම් සහ ඊට පස්සෙත්, තාත්ත ඔබ වෙනුවෙන් කැප වුනා කියන එක ඔබ සැමට මතක ඇති කියල මම හිතනව.

මේ ගමේ පුස්තකාලෙ හදල, අපේ ඉස්කෝලෙ යන හැමෝටම කොච්චර උදව් කලාද කියල මම මතක් කර දෙන්න අවශ්‍ය නැහැ. පන්සලේ දහම් පාසලට ගොඩනැගිල්ලක් හදපු දවසෙ ඉඳල අර පොල් අතු මඩුවෙ ඉගෙන ගත්තු අපේ සහෝදර සහෝදරියන්ට කෙතරම් සෙතක් වුනාද කියල මම අමුතුවෙන් කියන්න අවශ්‍යත් නෑ.

අපි බලමු මේ ගමෙන් එහා, මේ නගරෙන් එහා.. මගේ පියාණන් ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට, පිට පලාත්වල ක්‍රීඩාවට දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශිෂ්‍යත්ව ලබා දුන් හැටි මම මේ අවස්තාවේදී මතක් කර දෙන්න කැමතියි. මෙතෙක් කල් ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් ලැබුනු පහසුකම් වගේම ප්‍රාග්ධනය අනෙක් ක්‍රීඩාවන්ගේ දියුනුව සඳහාත් ලබා දුන් හැටි ඔබට මතක ඇති.


මම හැදුනෙ වැඩුනෙ ඒ වගේ පරිසරයක.

(කෙටි නිහැඬියාවකින් පසු තිසර තම කතාව ලියූ කඩදාසිය හතරට නවයි )

තිසර: (කුඩා සිනාවක්ද සමඟ ) තාත්තගෙ ගුණ ගායනා කරල ඉවරයි. (හතරට නැවූ කොලය පෙන්වමින්) මේ තියෙන්නෙ මගේ කතාව. ඉතුරු ටිකේ තියෙන්නෙ ඇයි ඔබ සියලු දෙනා මාව පත් කල යුත්තෙ කියන එක. අවංකවම අපේ තේනුවර මහත්මය ඉතාම ලස්සනට ඒක ලියල තිබුන. ඒත් ඇයි මම මේ මගේ සහෝදර සහෝදරියන් එක්ක මයික්‍රෆෝනයකින් කතා කරන්නෙ? ඇයි මම මේ ස්ටේජ් එකක් උඩට වෙලා?

මං මෙච්චර වෙලා කතාව කලේ හිතට එකඟව. මම ඒක පිලිගන්නව. හැබැයි අවංකවම කිව්වොත් හදවතට එකඟව නෙවෙයි. ඇයි මම මාව මාර්කට් කරන්න මගේ තාත්තව පාවිච්චි කරන්නෙ? මට තනියෙන් මාර්කට් වෙන්න බැරිද?

මම මේ වැඩේ පටන් ගන්නකොට මගෙන්ම අහපු ප්‍රශ්න ගොඩක් තිබුන. මට මේක කරන්න පුලුවන්ද? මට මේක සුදුසුද? මේකට මම සුදුසුද? හැබැයි ප්‍රශ්නෙ තිබුනෙ එතන නෙවෙයි. මම ඔයාලට සුදුසුද, ඔයාලට මම සුදුසුද? ඔව් එකම දේ තමයි, ඒක වැරදීමක් නෙවෙයි. 

ඉතින් මම ඔයාලගෙන් අහන ප්‍රශ්නෙ මොකද්ද? අපේ මේ දේශපාලනය අද තියෙන්නෙ කොහෙද.... ඒ දේශපාලනය ඇතුලෙ ඔබ හැමෝම මට මනාපය දෙන්න ඕනෙ ඇයි?

ඒකට උත්තරයක් මට දෙන්න බෑ. හැබැයි මේ දේශපාලනේ තියෙන්නෙ හරි තැනක නෙවෙයි කියන එක මගේ පෞද්ගලික අදහස. අපි පොඩියට පටන් අරන් දවසක ඒක හරි තැනකට ගේන්න ඕන කියන පෞද්ගලික මතේ මම දැඩිව ඉන්නව. ඉතින් ඒ වගේ ලොකු කන්දක් නගින්න තියන පලවෙනි අඩියක් විදියට මම මේක සලකන්න කැමතියි. 

මං අවංකව කියන්නම්, මට ඔබ කාටවත් කිසිම පොරොන්දුවක් දෙන්න බෑ. මට කිසිම දෙයක් සහතික කරන්නත් බෑ. හැබැයි මම දන්නව මට කරන්න පුලුවන් දේ. මට පුලුවන් ඔබ සියලු දෙනාටම ඇහුම්කන් දෙන්න. මම දන්නව මට පුලුවන් ඔබ සියලු දෙනාවම අහගෙන ඉන්න. ප්‍රශ්න මට කියන්න. මාත් එක්ක බෙදා ගන්න. සමහරවිට මට උත්තරයක් දෙන්න බැරි වේවි. එහෙම දවසක මම ඔබත් එක්ක එකට අඬන්නම්.

සමාවෙන්න. මගේ මැතිවරණ ව්‍යාපාරය ආරම්බ කරන්න සුදුසුම විදිය මේක නෙවෙයි වෙන්න ඇති. ඒත් මගේ හෘද සාක්ෂියට පිටින් මට කතා කරන්න අමාරුයි. (තේනුවර දෙසට හැරී) තේනුවර අංකල් සමාවෙන්න. කතාවෙ කිසිම වරදක් නිසා නෙවෙයි ඒ කතාව මම නොකලෙ.

ඉතින් ඔබම හිතල තීරණය කරන්න මට ඔබේ මනාපය දෙන්න සුදුසුද නැද්ද කියල. ගොඩක් ස්තූතියි මගේ තාත්ත මත අවුරුදු ගාණක් තියපු විශ්වාසයට. ඒත් ඒ විශ්වාසයම මං උඩ තියන්න එපා.

ස්තූතියි....

(තේනුවර පුදුම වී විටින අතර, තිසර, දර්ශන දෙස බලයි. දර්ශන සිනාවක් සමඟම හිස වනා තිසර කියූ දෑ අනුමත කරයි.)

*අවසන්*







Friday, October 26, 2012

මුල් පදය නැති කවක්


නූගත් මනස පීර පීරා
සොයන මුත් පද,
ලියනට නවමු කවක්;
මුල් පදය මත
පිටු ගණන් වැය කළ මට
විවේකය ලැබුනු විගස
පෑනේ තුඩට 
කෙළ උනන්නට විය.
කාමරේ මුල්ලක තිබුනු
කිලිටු හිස් කඩදාසියක
තින්ත පුරවත්ම,
පෑන හිතට කරනා ඔච්චම්,
හිතටත් දරාගත නොහැකි ඇති.
වර්ණවත් සරත් තුරු ලතා,
වසත් හරිත වන රේඛා,
ධවල ශීත ඇතිරිලි මත
හිත මා රැගෙන යන චාරිකාවත්
පෑනට එරෙහිවම වෙන්ට ඇති.
වචන වනයක සිර වුනත්
එපිට අදහස් සයුර වෙත
යන මඟක් නොසොයන්ට
පෑන කෙතරම් කපටිද?
වඩදිය ඉහල නැඟ නැඟ
වචන වනයම පීරා
පෑන තෙක් පැමිනෙන්නට
හිතත් කොතරම් කපටිද?

Wednesday, October 24, 2012

හිත කෙසේ ඇහැරෙයිද?



දෙනෙත් හැර හිටියාට
නිදි නේද හිත තාම..
ඉදිරියට යන පියවරට
සියක් පිය පසුපසෙට
රැගෙන යන ලෝකයක
හිත කෙසේ ඇහැරෙයිද?

ජීවිතය නම් කැන්වසයේ
සිත්තරාට ඉඩ නොදී
අන් සැවොම පාට තවරන කලෙක
හිත කෙසේ ඇහැරෙයිද?

පවුරු වලළු මැද
වහල් නළුවන් යොදා
පවුරෙන් එපිට 
තණබිම් වසන් කරනට
සැනකෙළි නටන විටෙක
හිත කෙසේ ඇහැරෙයිද?

මායා, මාලා වලළු,
ගෙල බැඳි යදම් වී
ඉදිරියට යන අපව
ගැටගසා දමන විට
දෙනෙත් හැර සිටින මුත්
හිත කෙසේ ඇහැරෙයිද?

නොපවතින තාප්ප,
වැට කඩොළු, සීම මායිම්
පැන යන්ට හැකිද
නොඅවදි සිතකින්?

පියාගමු දෙනෙත්
අවදි වන අදහසින්,
බලමු ලොව දෙස සිතින්
සිත අවදි නොමැති නම්
දෙනෙත් හැර කිම පලක්..


Wednesday, September 26, 2012

දූවිල්ලෙන් තිලක තියන්න

(මං කතා ලියන්න කැමති කෙනෙක් නෙවෙයි. උත්සහයක් අරං බලමු.)

දවස් දෙකකට විතර කලින් බුකියේ පෝස්ට් එකකට ගීතයෙන් ගීතය කොමෙන්ට් කර කර ඉන්නකොට ඉස්සර අහපු සින්දුවක් මතක් වුනා. ඉන්නවද නැද්ද කියල දන්නෙ නැති "සුපිරි තරුවක"ගෙ සින්දුවක්. මං යූ-ටියුබ් එකෙන් අමාරුවක් නැතුව සින්දුවෙ තිබුන එකම version එක හොයා ගත්ත. ඒ මුල් පේලිය හැමදාම හිතේ රැඳිල තිබුන මුල් පේලියක් වුනාට කවදාවත් මුලු සිංදුවේ වචන මොනවද තේරුම මොකද්ද කියල හොයල බැලුවෙ නෑ (මට සිංදුවක් "හිට්" වුනාම අනිවා  කරන දෙයක් ඒක ). ඉතින් මේ සැරේ මං සින්දුව ටිකක් හිමින් අහල බැලුවා.

ඉතින් මං සිංදුවට එන්න කලින් සින්දුවේ පසුබිම පොඩ්ඩක් මතක් කලා. ඒ සිංදුව එලියට එන්නෙ සිරස සුපර් ස්ටාර් තරඟේ සෘජු ප්‍රතිඵලයක් විදියට. ලංකාවෙ මීඩියා පැත්තෙන් සිරස සුපර් ස්ටාර් කියන්නෙ (කවුරු පිලිගත්තත් නැතත්) turning point එකක්. වෙන රටවල් වලින් concept එක ගත්තත් තමන්ගෙම ආකෘතියක් උඩ (ප්‍රවීනයන්ගෙ විවේචන මැද ) සිරස කරපු අලුත් වැඩක්. ලංකාවෙ අනිත් හැම නාලිකාවක්ම වගේ (හැමදාම වගේ) බැන බැන ඒත් ලැජ්ජ නැතුව copy කරපු වැඩක්.

අරමුණ මොකක් වුනත්, සාර්තක වුනත් අසාර්තක වුනත්, පලවෙනි සැරේට වැඩක් කරනව කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඇත්තට ටැලෙන්ට් හොයන එකට වඩා ඒකෙ වානිජ අරමුණු තියෙන්න ඇති. ඒ වුනාට ලංකාවෙ public එකට expose වෙන්නෙ නැති ගොඩ දෙනෙක් පලවෙනි සැරෙන්ම expose වුනා. ඒ මොනව වුනත් පලවෙනි සුපර් ස්ටාර් එකෙන් ඉතුරු වුනේ හරි ප්‍රතිඵල දෙකයි. එකක් ශිහාන් මිහිරංග. අනිත් එක අමිල පෙරේරා. එතනින් එහාට වෙන කවුරුවත් field එකේ establish වුන පාටක් පේන්න නෑ.

ඒ වුනාට සුපර් ස්ටාර් එකෙන් පස්සෙ ලංකාව තුල රියැලිටි TV concept එක ව්‍යාප්ත වෙනවා. ඕනෑවටත් වඩා එහෙම වුනා කියල කෙනෙකුට කියන්න පුලුවන්. ඒත් සුපර් ස්ටාර් වේවා, ඩ්‍රීම් ස්ටාර් වේවා, මොකෙන් හරි, හැකියාවක් තියෙන පිරිසකට මූලික සංගීත දැනුමට වඩා දෙයක් ගන්න පුලුවන් වුනා. ඒ අතින් බැලුවම සුපර් ස්ටාර් පටන් ගනිද්දි තිබුන අරමුණ මොකක් වුනත් ඒකෙන් කාටහරි  "හොඳක්" වෙලා තියෙනව කියල කියන්න පුලුවන් (වක්‍රව හරි ).

ලංකාවට එක අතකට (මීඩියා පැත්තෙන්) ඕන වෙලා තිබුන වෙනසක් සිරස ගෙනාව කියල මම හිතනව සුපර් ස්ටාර් එක්ක. ඒත් එතනින් එහාට තව ලොකු දෙයක් වෙන්න තිබුනා ඒකට (සහ ඒ වගේ අනිත් තරඟ වලට ) සහභාගී වුන තරඟ කරුවන්ගෙන්. හැමදාම අපි ලංකාවෙ අහල තියෙන නිතර දෙවේලෙ එපා වෙනකන් ඇහෙන "සංගීතය" කියන එකට වඩා දෙයක් මේ වගේ තරඟෙකින් බලාපොරොත්තු වුනා මං පෞද්ගලිකව. ඒ කවුරු හරි අපි හිර වෙලා හිටපු පෙට්ටියෙන් එලියට එයි කියල හිතුවා. ඒත් ඒක එහෙම වුනේ නෑ. පොඩ්ඩක් හරි අලුත් දෙයක් කරයි කියල විශ්වාසයක් තියන්න පුලුවන් කමක් තිබුන ශිහානුත් හතර කේන්දරේ ගැන සින්දු කියනකොට මොන වෙනසක් ගැන බලාපොරොත්තුද.

ඊට පස්සෙ එක එක තරඟ වලින් වෙනසක් ගැන හීන පොඩ්ඩ පොඩ්ඩ ඇති කරපු වෙලාවල් තියෙනව. ඒ වුනාට ඒ හැමෝම ප්‍රධාන දාරාව එක්ක එකතු වෙන්න කරපු විකාර සිංදු දැකල ඒ අසාවල් බිංදුවට නැති වෙලා ගියා. කේශාන් වගේ අය සුකුරුත්තන් වගේ සිංදු කිව්වම අර මුලින් තියපු බලාපොරොත්තු මොකටද? මම වෙනසක් බලාපොරොත්තු වුනු අය අතරෙ උඩින්ම හිටිය කෙනෙක් උදිත සංජය කියන්නෙ. වැඩක් නෑ තමන්ගෙම කියල ගහපු සින්දු අහනකොට.

ඒකට ඒ ඒ නාලිකා ගොඩක් වගකියන්න ඕන කියල මම හිතනව. මිනිස්සුන්ව, තමන් මාර්කට් කරන්න පාවිච්චි කරන එක ගැන දුකයි. ඒත් 'දූවිල්ලෙන් තිලක තියන්න' වගේ සින්දුවක් සුපර් ස්ටාර් වලවෙනි තරඟෙන්ම එලියට ආපු එක මට තාම පුදුමයි. සිංදුව කියන්නෙ අජිත් බන්ඩාර (තරඟෙන් දින්න කෙනා පලවෙනි සැරේ) එක්ක ඉතුරු තරඟකරුවො ටික. සින්දුවට සංගීත අධ්‍යක්ෂනය නවරත්න ගමගේ ගෙ. ඒත් මේ සින්දුවෙ මට වැඩිපුරම දැනුනෙ ඒකෙ වචන. පද රචනය රත්න ශ්‍රී විජේසිංහයන්ගෙන්.

මම දන්නෙ නෑ සින්දුව ලියන්න පාදක වුන පිටිපස්සෙ කතාව මොකද්ද කියන්න. ඒ වුනාට සින්දුව කියන අයට, සිංදුව නිශ්පාදනය කරපු අයට, සිංදුව අහන අපිට, හැමෝටම මතක තියාගන්න වටින කතාවක් ඒ සින්දුව කියනවා. සුපර් ස්ටාර් වලවෙනි තරඟෙන් මම බලාපොරොත්තු වුනාට වඩා ගොඩක් එහා දෙයක් ඒක.

දූවිල්ලෙන් තිලක තියන්න
උපන් බිමේ දූවිල්ලෙන් තිලක තියන්න
කිරුළ යටින් ඔබේ අතින් සිරස පැලැන්දුව
මගෙ නළලත තිලක තියන්න

ප්‍රිය සාද කොපුල් කඳුළු සුසුම් හුරු මට ගම්දොර
මල් පෙති සීතල නෑ දෙපයට පෑග‍නු ගින්දර
කිරුළ මොටද සිරස නොවෙද ඔටුන්න අප
ඔටුන්න අප ලද ඔටුන්න මා ලද

ගංගාව පෙරට ගලා ගියත් උල්පත පසුකර
ඒ උල්පත ළඟ දණ නමන්න
මට ඇති අවසර අප කාට ගයන්නද මේ ගී
අපෙ ලොව අයිති ඔබට මිස මගෙ ලොව අයිති ඔබට මිස

ගායනය : අජිත් බණ්ඩාර
ගායන සහාය : සුපර් ස්ටාර් ගායක ගායිකාවන්
පද ර� නය : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : නවරත්න ගමගේ
සහාය සංගීත අධ්‍යක්ෂණය : ප්‍රියන්ත ගමගේ

සිංදුව මෙතනින් බලන්න.

Sunday, August 19, 2012

නොලියන්නට සිටි කවියක්


ඉහිරුණු රුහිරු බිඳ බිඳ අමුණා තනන
මුතු ඇට මාලයකි මුළු දිවියම තමන
මේ පියගැටෙහි නැඟුමම අහුරා දමන
කිසිවක් සබඳ නොකරනු වෙනුවෙන් තමන

විස විස කටුය ගෙනවිත් හේ දමන්නේ
රස රස කැවිලි වෙනුවට ගෙට තමන්නේ
වස විස ගාගත්තු කල මුව තමන්නේ
හිස මිස ඇතුල නොව අඹු දරු රකින්නේ

බෝතල් කුප්පි නිදි පෙති හෙම එපා එපා
ජීවත් විය යුතුය සැමදෙන අපා දෙපා
හද ගිනි වසා වුව උඹ රඟ පපා පපා
හිඳින් ඉවසපන් උන් කයි විපා විපා

සබඳ, සොයුර දෙසොයුරියන් මවා ගනින්
කිම් විය හැකිද උඹ නැති උන් හිඟා කමින්
ලොකු උදවිය කුමක් කරතත් උඹේ නමින්
හිටහන් කෙලින් මියැදෙනතෙක් මවගෙ ලඟින්

දහසක් කතා කියනට උන් සිටීවී
උන් ඉදිරියෙහි උඹ උස බව දැනේවී
මතු යම් දිනෙක උන් උඹෙ පා සිඹීවී
එතකන් හිඳින් අපි උඹ ලඟ හිඳීවී

රට කා පිට රටට හේ පැන ගියාට
උඹ රැක ගනින් මුලු පවුලම එදාට
රැවටෙන්නට එපා බොරු සුමිතුරාට
උඹ අම්තක වේවි අද හිනැහුනාට





Tuesday, July 24, 2012

මගේ ඔඩිසිය


1
පොහොට්ටුවකි,
දිනෙක සුවඳ විහිදා වැඩෙන මලෙක;
දිය බිඳකි,
මහා රළ බිඳි සයුර වෙත යන;
ඇරඹුමකි,
ශීත ඍතුවෙහි පියා සලා
දකුණ බලා යන විහඟෙකුගේ ගමනක;
හීනයකි,
නිපැයුමකි,
කඳුලකි,
පරම්පරා ගණනක මුතුන් මිත්තන්ගේ;
සිනහවකි,
කඳුළකි,
බලාපොරොත්තුවකි,
තරුණ මාපිය යුවලක,
විදුලි පන්දම් එලියෙන් මෙලොව සොයනා...

2
ඇවිද යයි,
මෙලොව ඇති සියලුම කාලය
තමනට ඇතැයි සිතා;
සිනහසෙයි,
දහසක් දෙනා හඬනා නිමේශයක;
හඬයි,
ලොවම සිනහව මවන මොහොතක;
සඳ තරු වලාකුළු අල්ලන්න,
පාට පාට හීන ලෝක වල සැතපෙන්න
චොකලට් මාලිගා, සීනි කඳු
සෙල්ලම් බඩු කරත්ත...
අද නැති නිදහසක් එදා
මුළු ගතම වෙලාගෙන...
ඇහි පිය ගහන හැම මොහොතකම
හිත තුළ මැවෙන සුන්දර හීන
ඒ ලෙසම හැමදාම
රැඳුනි නම් මා සමඟ....
ලෝකයම දෙදෙනෙක්ම විය;
ඉන් එපිට හිස් අවකාශයක් විය.

3
තාර දැමූ මඟක
වේගයෙන් පැදි බයිසිකලය...
උපන් දිනයට ලැබුනු බයිසිකලය...
තවමත් දිර දිරා පිළිකන්නෙහි ලගින
බයිසිකලය....
තවම මතකයි බයිසිකලයට
ගියපු හැටි පිට්ටනි වලට, එකට,
බැට්, බෝල, පොල් පිති අරං..
එක එකා එකතු කර කර
ටවුම වටේ ගියපු හැටි...
සෙරෙප්පු කෑලි,
හිස් දෙපතුල්,
පැඩල් එක කොච්චර නම්
රත් කරාද ඒ දවස් වල...
නපුරු නෑ කාලය... නෑ...
බයිසිකලයට අමතක නෑ
ඒ සුන්දර යුගය,
හිනා වුනු හැටි,
කෑ ගහපු හැටි,
බැනුම් අහපු හැටි,
එක හීනයක් හැබෑ කරගන්න...
හැමදාම බයිසිකලෙන්
ටවුම වටේ රවුමක් යන්න.

4
හීන?
ඒ මොනවද.....
හීන?
ඒ කවුද.....
ඇහි පිල්ලමක් අග රැඳුණු
දුහුවිලි බිංදුවක්...
තව විනාඩියකින් ඇහැ තුළට යන
ගිය විගස එහි ගිනි දවන...
සිතන්නට තිබුනා ද
වැලි වල සෙල්ලම් කරන්නට පෙර.....
ලඟට ලං වෙනකම් සොඳුරු වූ
ලඟට ආ විට විසි කරන්නට අපහසු...
එක් අතක ඇපල් ගෙඩියක්
අනෙකෙහි දොඩම්
ඉන් එකක් ගැන තීරණයක්...
අනාගතයම තීරණය කරනා....
හීනයක තේරුම නොදත් කාලෙක
කෙසේ තීරණ ගනිම්ද?
දවස අහවරයි...
හීන, තීරණ කුණු බාල්දියට....
අවැසි එක දෙයකි,
ඊලඟ දිනයට පෙර කුඩා නින්දක්.

5
ඇඟිලි තුඩු එක එක
වරින් වර සිඹ සිඹ
වැයෙනා අලංකෘත
සොඳුරු වූ ස්වර
මා ප්‍රේමයෙන් වෙලයි
සොඳුරු වූ ගිටාරය සමඟ..
සැමදා මා ලඟින් ඉනු ඇත
කිසිදිනෙක මා හැර නොයා...
උයන්, කොටු පවුර,
මුහුදු වෙරළ, මහ වීදිය,
හැම තැනම,
හිඳිනු ඇත අප එකට
මියෙන තුරු සදා
අතැර යනු නොමැත මා කිසිදින....

6
බසයකි
මුළු දිනම නො නවතින,
අත දැමූ විට
වේගය බාල කරතත්
කිසිවිටෙක නොනවතින...
නැග ගතිමි වෙර යොදා;
යන්නෙමි ඉදිරියට
බසය තුළ හිඳ...
නැවතුමට බෝ දුරය
තවම මා හිටගෙනය
නැවතුමෙහි නැවැත්තුවහොත් හොඳය....

7
වයන්නෙමි තත්, තවම..
නඟයි හඬ, ඒ ගිටාරය..
පිවිතුරු නොමැත පෙර ලෙස...
හැකිය මට එය වයන්නට හොඳට
එය ගත් කලට වඩා..
අවැසිය අලුත් ගිටාරයක්
තිබෙනා ගිටාරයට වඩා හොඳ..
මිලදී ගත යුතුය මා;
නමුදු අත්හල යුතුය
පැරණි ගිටාරය පළමුව;
මෙතුවක් කල් ලඟම හිඳි
එය අත්හරිනු කෙසේද?
බියකරු වුවත් තීරණය ගත යුතුය
ඉතින් ආයුබෝවන්
මා සොඳුර

8
උපැස් යුවලකි
මා ප්‍රාණවත් දෙනෙත් ඉදිරිපිට
පෙර කිසි දිනෙක නො තිබුනු...
දුහුවිලි බැඳේ ඒ මත
සෑම දින,
දුම් රිය ගමනෙහි දි
රැකියාවට යනෙන...
දුහුවිලි වැකුණු
දහඩිය සමඟ ගුලි වුනු
උණුහුම් කඳුලක්
කොපුල් මත ඇවිද ගොස්
සිඹී දෙතොල්...
ලුණු රසයි ජීවිතය...
නෑ
ජීවිතය තිත්තයි....
සීනි බෝතලය හා
පැණි බෝතලය මිය ගොසින්.....

9
පරණයි අලුත් ගිටාරය
මුත් තවම එය මා අසල
හෙමින් සැරේ පෙමින් බැඳී
ටිකෙන් ටික ලං වෙයි
මා හට වයන්නට එය
සෙමින්....
වයන්නෙමි මම
වාරු තිබුනිනම් දෑතෙහි
හඬන්නට කඳුළු නො ගලයි
දෙනෙත් මලකඩ කා ඇති හෙයින්
හිරු පරණයි, සඳුත් පරණයි
දහවල පරණයි, දුකයි
රැයත් පරණයි..
පැරදෙන්නට ජීවිතෙන්
ජීවිතය තරඟයක් වුනානම්...

10
දිනෙක පොහොට්ටුවක් විය
දිනෙක සිනාසුනෙමි නිදහසේ
දිනෙක සැරි සැරීමි ලෝකයම
බයිසිකලයෙන්
දිනෙක සැතපුනෙමි
සිහින අමතක කොට
දිනෙක වාදනය කළෙමි
මා පලමු ගිටාරය
දිනෙක බසයක නැඟ ගියෙමි
නැවතුම එන තෙක්
දිනෙක මිලදී ගතිමි
නවමු, හොඳ ගිටාරයක්
දිනෙක පැළඳුවෙමි මා
උපැස් යුවලක්
තව දිනෙක තේරුම් ගතිමි
හඬන්නට කඳුළු නැති බව
දෙනෙත් මලකඩ කා ඇති හෙයින්....
මා වැතිර සිටින්නෙමි සයනයෙහි දැන්
සිනාසෙමින් තනිවම
පියවෙයි කෙමෙන් මා දෙනෙත්
සැමදේ සිතෙහි මව මවා

Monday, July 23, 2012

කිරිල්ලියක විය ඕ


කිරිල්ලියක විය ඕ
එදා දහසක් ගැටුම් මැද
තනිව නැගිට
තමන් වෙනුවෙන් යුද කළ...
කුරුල්ලකු විය හේ
දහසකුත් සමච්චල්, කතා මැද
අතැර නොයනා බවට දිවුරූ...
සොඳුරුය හීන මැවු අයුරු
තැනුමට කැදැල්ලක් එකට
දැනෙන නොදැනෙන වියක සිට වුව....

ඉගිල ගියහ උන්
අන් දේශයක් කරා
මේ සිර කූඩුවෙන් මිදී
සිහින සපුරා ගැනුමට..
තැනුමට තමනටම කැදැල්ලක්....

කල් යත්ම ආ
කිචි බිචි හඬක් සියුමැලිය
අනෙක් හඬ රුදුරුය, ගොරෝසුය..
කුරුළු පැටවෙකු සිනහසෙද්දී
ඉගිල යයි කුරුල්ලා
තමන්ගේම කැදැල්ලක් තැනුමට
අන් පාට කිරිල්ලියක සමඟම....

හඬන්නට කඳුලු නොඉනුවාට
දැවෙන දෙනෙතෙහි රැඳුනු සුසුමක
උනුහුමට නිදයි පැටවෙකු
උකුල් තලයෙහි කිරිල්ලිය ගේ...

සතයෙන් සතය (පවුමෙන් පවුම ), වසරින් වසර
එකතු කර ඉතිරි කර
ඈ ඇති දැඩි කළ
ඒ කුරුළු පැටවා අද
කිරිල්ලියක වී ඉගිල ගොස් ඇත
කුරුල්ලකු සමඟ වෙනත් රටකට

කිරිල්ලිය නොහඬයි
කිරිල්ලිය නිහඬයි
ඒ කිරිල්ලිය හට
තවත් ඉවසනු අවැසිද?




Monday, April 23, 2012

අළුපාට මීදුම


අළුපාට මීදුම,
සීතලයි
නිහඬයි..
කඳු පාර අග ඇති
පුංචි නිවහන
අඳුරුයි
පාලුයි..
තරු පේන නොපෙනෙන
සීත මැදියම
හිස්.............
තනිකරම හිස්.....
විලාපයකි ඈතින් ඇසෙන;
රතුපාට මීදුම,
ලස්සනයි
ඒත් ඒක ලස්සන මායාවක්

ඔරලෝසුවක්


දළදා පෙරහැර ළඟදි
මහ රෑ තනි නොතනියට හිඳි
වටිනා පුංචි ඔරලෝසුවක්
වැටුනා....

සොයනා විටදි සැම අත
එකසේ පිරුණු දන මැද
පෑගී ඈත විසිව ඇති එය
දුටුවා...

හෝදා නැවුම් සලුපිළි
වටිනා ලෙසට හැඳ සිටි
වටිනා මහතෙකුද එ අසල
හිටියා....

බලනා විටදි වටපිට
දුටුවේ නොමැත ඔහු මා
නැවිලා බිමට, එය හේ
ගත්ත....

හිනැහී එදෙස බැලු මම;
විසිරී තිබෙන මෙනුවර
ඔරලෝසු කඩ දෙකකට
බැස්සා...

Saturday, April 14, 2012


ඇතුලත ආලෝකමත්ය
නමුදු ඇතුලත නිශ්ශබ්ද ය
සන්සුන් ය හිස් ය...
කෙමෙන් අලෝකය මැකී යත්ම
ඇතුලත පැවති
නිශ්ශබ්ද බව බිඳී යයි
දැන් ඇතුල නොසන්සුන්,
මිනිසුන්ගෙන් පිරී ඉතිරී ගොසින්..
ඇතුලත සම්පූර්ණයෙන් අඳුරුයි
සන්සුන් බව හා
නොසන්සුන් බව අතර ගැටුමක්..
ලතැවුනා ඇති
චිත්‍රපටයෙහි ඇරඹුමට පෙර
දැන්වීම් වලට කාලයයි මේ

Wednesday, April 11, 2012

සුනාමි


සාලෙ ඉඳන්
ලිප දිහා බැලුවම
ලිපක් හරියට නොපෙනුනාට
ලිප නිසා,
කුස්සිය ගිනි අරං නැති බව නම්
විශ්වාසයි මට....
ගෙදර පොඩි එකා කුස්සියේ ඉඳන්
කෑගැහුවට ගින්නක් කියල
ගෙදර මහ මිනුස්සු
ගමම එකතු කරං
කුස්සියට යන්න ඕනෙද?
කොහොමහරි
පොඩි එකාට ඕනෙ වුන දේ
කරගත්ත එයා...
හැබැයි කවුරුවත් නොගියනම් එතනට
ගිනිගන්නත් තිබුන කුස්සියම
ගිය පාර වගේ......
වෙනස
ගිය පාර කෑගහන්න පොඩි එකෙක් නොහිටි එක.........

වේදිකාවකි




වේදිකාවකි
තිරයක් නොමැති;
දෙපස, පසුපස
සිටින, කරනා
සැමදෙනා, සියලු දේ
දහසක් නෙතු ගැටෙනා

පිරිසකි
කතාවක්, සිනහවක් නොමැතිව
වේදිකාව මත නොව
තිරය නැති පිටුපස සහ
වේදිකාව දෙපස සිටින....
උන් කියන, කොඳුරන රහස්
සැමටම ඇසෙන....

ජීවිතය
තිරයක් රහිත වේදිකාවකි
සෝ සුසුම් පිරසකගේ
වේදිකාව පසු පස සිට
තනිවම හෙලන,
නමුදු සැමටම ඇසෙන


Wednesday, March 28, 2012

සැණකෙලියෙහි අවසන් හෝරාව


වලාකුලු නොමැති අහසට
යොමු කරන විදුලි එලි
තරුවල, සඳෙහි පතිතව
පොළොවට එළිය දුන් හෝරාවේ,
නේක වර්ණ මිණි පහන්
දැල්වී නිවී රටාවට
හිත වටා ගමන් කරයි
විදුලි වේගයෙන්...

දිනයේ අවසන් ටිකට් පත
රැගෙන මියැදුනු දරුවන් හා
මියැදුනු අඹුත් ගැන මතකය,
ගුලි කොට වීසි කර දමා
නඟිනෙමි ඒ මහා
රෝලර් කෝස්ටරයට තනිවම....

මහා ප්‍රපාතයකි, වැටෙන්නට පහලට
තව මොහොතකින්;
ඉන් වැටී කටු බිඳී මියැදෙන්නට
ඉඩ ලබා නොදෙන ආසන පටිය
ඔච්චම් කරයි මට,
ප්‍රපාතය අභියස දී....

පිරී සිටි සෙනඟ සැණකෙලියෙහි
කෙමෙන් මැකී යන හෝරාවක
අතීතයෙහි හා අනාගතයෙහි දුහුවිලි
මා දෙඇස් අන්ධ කරයි...

දැන්,
නොපෙනෙයි මහට ඒ ප්‍රපාතය
ප්‍රපාතයට වැටෙන විට,
නොසිතමි අතීතය ගැන
සිතනෙමි දැවෙන නෙතු ගැනම පමණක්..

හුළඟක්



හුළඟක්
රතු පාට හුළඟක්
හුළඟට පාට තියෙනවද
දන්නෙ නෑ...
ඒ උනාට ඒ හුළඟ රතු පාටයි
ඒ දුමක් වෙන්න ඇති..
සනීපයි..... නිදිමතයි මට..
ඒ දුමක් නම්, මී දුමක් වෙන්න ඇති
හැම තැනම ඒ රතු පාට..
පරන මොන්ටිසෝරිය, අපි සෙල්ලම් කරපු පිට්ටනි,
කුඹුර, අර මහා කන්ද
හැමදේම වෙලාගෙන ලස්සන රතු පාටකින්..
හීතලයි ඒ හුළඟ
හරි හීතලයි...
ලස්සනයි
ඒ හුළඟ මාව අරං යන පාර
හරි ලස්සනයි........
උණුහුමයි
ඒ හුළඟ මාව නතර කරවන නිවහන
උණුහුමයි
මේ මහ පොළොව යට........

Monday, March 19, 2012

ධවල...


සුදු පාට
හැම අතම සුදු පාටය.
සුදු පාට අවකාශයකි.
එහි එක් අතෙක
විලකි.
දිය සුදු පාටය.
එහි සුදු රෙදි කඩක් හැඳි කතකි
දණක් දියෙන් වැසුනු.
මෙපිට ගල් තලාවකි
සුදු පාට.
එමත රාජාලියෙකි සුදු පාට.
නෑ............................
ඇත රාජාලි දෙපතුල්හි රතු යමක්.
දැන් ගල් තලාවෙහි ගෑවෙන.
සුදු දිය විලද කැලතෙයි.
මතුව ඇත අන් පාට
අවකාශයෙහි ඒ...
නිල් පාට අහසක්...
කොළ පාට තුරු ලතා...
ධවල ලෝකය මැකී ගොසින් දැන්..
නමුදු පාවෙයි විලෙහි දිය මත
සුදු පාට රෙදි කැබැල්ලක්....

ඈත කඳු හෙල්


ඈත කඳු හෙල් සොඳුරු නෑ
මෑත වද මල් සුවඳ නෑ
නොදුටු විසිතුරු දිලෙන රෑ
නොමැත රිසි මට සුසුම් ලෑ

පවනෙ පාවෙන ගිනි අවි
වෙහෙසි මසිත ත නිදි බිඳී
සිතට එඩිතර කම දිදී
ගැයෙන ගී හොඳටම වැඩී

ගැහෙන පණ තුරු වල පවා
දැවෙන දෙරණත ඇත වසා
වැහෙන ලේ රතු නැති නිසා
දුටුව රෙදි ඉන් තෙත් කළා

Saturday, March 17, 2012

විසල් නුවරක සිතුවිල්ලක් 2


සුවඳයි
ඒ මහා පුරෙහි ගැවසෙන
සහසකගෙ රතු රුහිරු
දහඩිය කඳුලු සුවඳයි;
එකට පැටලුනු
බස් දහසකුත්
සංස්කෘති බර ගණන්
තට්ටු සිය ගණන් වුන
කුලුණු යට, කුලුණු තුල
ගැවසෙන විටෙක
රත්වී ගිනියම් වූ
මහ පොළොවෙන් නැඟෙනා
පුසුඹ සුවඳයි;
සුදු පාට, කලු පාට,
දුඹුරු පාට, රෝස පාට,
කහ පාට මිනිසුන්,
තම තමන්ගේ දෑස් අතුරින්
බලා නොබලා යනෙන මං පෙත්
තවම සුවඳයි;
නොදන්නා මං මැද
ලොවම පසිඳුවු නගරෙක
තනිව ජීවය සොයනට
දුහුවිලි වැකුනු
දූෂිත වාතයට
තනිවම හෙලනා
සහසකගෙ සුසුම්
සදා සුවඳයි;
එසැම දැකුමට
දෙනෙත් එලි කල
මගේ මව් රට තවම,
සැමදා එක සේ සුවඳයි.....

-නිව් යොර්ක් නුවරදී සිතුනු සිතුවිල්ලකි

කෙලවරක්............


තරු නිල් වලා
සයුර රළ ජල තලය
මුලු ලොව, පොළොව
නිම වෙන අගක්
ගැට්ටක් තිබේ නම්
කරමි තරණය
සොයන්නට ලොව
කෙලවරක
ඇති නිදහසක්
තව නව ලොවක්
හඬ හඬ හිඳි කලට
මට අහවරක්.
ඒත් අහෝ ලොව ගෝලයක්
මොන පැත්තෙන් ගියත්
එකම තැන නැවතෙන
කලින් අඬ අඬ හිටි එතැනටම
දෙමඟකින් කැරකී වැටෙන.
සොයනු කුමකට
කෙළවරක්
හිඳිමු මිය යන
පැරණි ලොව තුලම
හඬ හඬ...

Tuesday, March 13, 2012

විසල් නුවරක සිතුවිල්ලක්


සොඳුරු පුරයකි
ඇසෙහි ගැටෙනා
පයට පෑගෙන
තැන තැන උයන් විසිරුණු
සැම තැන සෙනඟ ගැවසුනු.

ගුවන් තල සිඹිනා
පහන් ටැඹ සිය ගණන්
අතින් අත සැම අතම
පවුරු සේ වැඩ හිඳී

නවමු ලොවකට
අලුත් හැඟුමක
අපි පෙර නොදුටුව
නොපැතූ
දොරටුවක් සේ හැඟෙයි සැමවිට
මේ මහා පුරවරය.

සැබැවින්ම පියකරුය,
දසුන් පියකරු වුවත් කෙතරම්
හැඟුම් හඳුනා නොගෙන
කුමන පිරියක්ද හදකට

මුලු සිතම ප්‍රශ්නාර්ථයෙකි,
විසල් වීදුරු බිත්ති පතුලත
සයුර වැනි මහ සෙනඟ මැද
තනිව හිඳිනා විටෙක

ලොවෙහි අන් පස නතර වුනු හද
නැවත කිසිදින ලඟට එයිදෝ
ලඟට නාවත් පැරණි උනුහුම
හදින් කිසිදින මැකී යාවිද?

- නිව් යෝක් නුවර සිට

Monday, February 20, 2012

ටී පනස් හයකි ඇමති මුරපොලක


නිල ඇඳුමේ බොත්තම්ද හැර
තනි තරුවේ ඔච්චම්ද මැද
නිදි මැරුවේය කුස ගින්න මැද
ඇමති මුරපොලෙහි තනිවම..

මැදියමැයි ඔරලෝසුව කියද්දී
සිඹියි දෙකණ්,
නිවසින් ගෙනා වෑර්ලසයෙන්
නික්මෙන සප්ත ස්වර..

අඳුරුය අවට
බිය නැත රාජකාරිය නිසාවෙන්,
කඳුලුය දෙනෙත
නොදුටුව නිසා ඈ
සති ගණන් මෙපිටට..

බුදු රූපයකි සිත සරි කරලන්ට
පින්තූරයකි ඈ ලඟක නැති හෙයින්
සුදු කාරයකි රතු නිල් පාට දැල්වෙන
හැම රාත්‍රියකම විත්
නිදිද නැතිදැයි සොයා බලනා...

අමතකව නැත ගමම
ගෙවයි සමනල් වියම
යවයි රුපියල් ගමට
හිඳී හේ මුරපොළක

අහිංසක ටී-පනස් හයකි ඔහු
දිවා රෑ නිදි කිරණ
පාලු පොඩි මුරපොලක

Monday, February 13, 2012

සඳෙහි ඇලවූ කඩදාසි


හිතේ කම්මැලිකම මකන්නට
අත් ඔරලෝසුව ඉදිරිපිට හිඳගෙන
ටෙලිෆෝනයට කන් දෙමින්
ටෙලිවිෂනයේ හඬ අඩු කරන විට
ජනේලය ඇතුලෙන් කුස්සියට
පෑයූ සිකුරු තරුවේ විලාපය
ලතා මංගේෂ්කාර් ගේ ගීතයක් විලසට
කණ සිදුරු කරන්නට වත්ම
මුහුණ බලා නොසිට මුහුණ හෝදගන්ටැයි
කණ්ණාඩිය මිමිනුවේ
බිත්තියේ එල්ලී සිටි සංගක්කාරටද
නොදැනෙන්නටය..

ඉන්ද්‍රචාපයක නැඟ
යමුණා නදීයෙන් මුහුණ හොදා
අරාබිකරයට පිය නැඟුවේ
තෙල් මිල දැනගැනීමට නොවන බැව්
හොඳින් දැන සිටි ශබ්ද කෝෂය
මට නොතේරෙන කුමක් හෝ භාෂාවක්
කියාදෙන්නට තැත් කලේ
ලෝක වෙළඳ පොළ ගැන අනුකම්පාවෙන්
විය යුතුය...

ත්‍රිකුණාමලයෙදී
තේ කෝප්පයක් බොන්නට
කෝපි කඩයකට බට විට
ලුණු මිල ගණන් යාමෙන්
කිරි සදා නොදෙන බව
කොත්තුවක් දමමින් සිටි කාල් මාක්ස්
මට කියන්නට වීමෙන්
මඩකලපුවෙහි
ගෙයක් තනන්නට තිබූ සිහිනය
එසැනින් බිඳ වැටුනි...

රෝස මලක් කඩා ගන්නට
විල්පත්තුවට ගිය විට
අපේ සියලුම ආශාවන්
අන්තර්ජාලයෙන් ලබා ගත නොහැකි බැව්
පසක් වන්නට වූවත්
රෑ අහසෙහි
කඩදාසි වලින් ඔතා තිබූ
පුන් සඳට රෝස මලදී
වලාකුලකට ආදරෙයි කියූ පසු
හිත සමඟ ඕමි ගැසූ කාඩ් කූට්ටම
මදෙස බලා රවන බැව්
දැක ගතිමි...

නමුදු දැන්
සඳෙහි ඔතා ඇති
කඩදාසි ඉවත් කරනට කාලයයි.....

Sunday, February 12, 2012

තොරණ..

කිසිවකුත් මැසිවිලි 
නොනැඟු දිනයක
තනන්නෙමි මම
කඩදාසි  තොරණක්...
බුදු රූප නැති,
බල්බ් වැල් නැති,
කතාවක් නැති,
පාට කොල නැති...
තොරණ සදනට
ඇති ආසාව නිසාම පමණක්..
වෙසඟ සැමරුම
දිවිය වූ විට
අතෙහි ඇත්තේ
කඩදාසි පමණක්ම නම්,
තිබෙන දෑ වලින් 
සදනු යෙහෙකිද?
බුදු රූප නැති නම්,
ජාතක කතා නැති නම්,
සදා ඇත්තේද
කඩදාසි වලින් පමණකි නම්
එය තොරණක්ද?

Tuesday, February 7, 2012

සිනහව නම් විලාපය හෙවත් විලාපය නම් සිනහව



අරමුණක් නැති ඇරඹුම
නැවතුමක් නැති අදිටන
සිය ගණන් දන පිනවන
විලාපයෙකිය සිනහව..

උවනෙහි පින්තාරු කළ සිනාවට
හැකිනම් මකා දමනට,
කඳුලු කැට ලෙස 
ඇද හැලෙන,
දැවෙන සිහිනෙක ජීවය,
සැබෑ විය හැක යම් දිනෙක
කලු පාටින් ඇඳෙන
අතරමඟ වැරදුනු 
ඒ සොඳුරු චිත්‍රය.....

වැරදීම දරුණුය;
නමුදු ලොව ඉදිරියෙහි
සිනාවෙත් ඕ විලාපය වෙනුවට..
දිවා රෑ පැටලී
අයාලේ වැලලුණ ජීවයෙහි
අවසාන නිමේශය
ගෙල බැඳි කඹයකින් නික්මෙන
විලාපයෙකිය;
නමුදු ඒ විලාපය,
සිනහවෙකි ඈ හට...

Thursday, February 2, 2012

විභාගය වෙත


ආදරණීය විභාගය,
ඔබ සුව පහසුවෙන් සිටිනවා කියල මම සිතනවා. මමත් මෙහේ හොඳින් ඉන්න බව කියන්න කැමතියි. මල්ලිව මතක් කලා කියන්න. මල්ලිව මුණගැහිලත් දැන් අවුරුදු 7ක් වෙන්නත් ඇවිත්. කාලය අපිට උඩින් පියාඹල යන විදිය දකිනකොට හරිම පුදුමයි. ඔබේ වැඩ හැමදෙයක් ම හොඳින් කෙරෙනව කියල හිතෙනව. අයියා ලෙඩ වෙලා හිටිය කියල ආරංචියි. ඇස්. බී. වෙදමහත්තයගෙ බෙහෙත් වලින් හොඳ වෙන්න ඇති කියල හිතනව. මොනව උනත් හීනෙන්වත් අයියව මට මුණනොගැහෙන එක ගැන වෙලවාවකට ගොඩක් සතුටුයි. මොකද මම දන්නව අයියා ඔබට වඩා කොච්චර නපුරුද කියල. අඩු ගානෙ ඔබව මුණගැහිල තිබුනනම් අයියා මොන වගේද කියල පොඩියට හරි හිතා ගන්න තිබුනා.

තව දෙයක්; මට ගිය සතියෙ මෙහේ ඔබට ගොඩක් දුරින් ඥාති වෙන කෙනෙක් මුන ගැහුන. හැබැයි මොන අතින් බැලුවත් එයා ඔබටයි අයියටයි වඩා පොඩියි. අනික හැම සෙමෙස්ටර් එකක් අවසානෙදිම වගේ එන නිසා ඔබව දකින්න තියෙනව වගේ අගයකුත් නෑ.

ඔබ දන්නවද දන්නෙ නෑ ඔබේ මල්ලි හමු වුන දවසෙ ඉඳල මට එක හීනයක් තිබුනු බව. ඔව්, ඔබව මුන ගැහෙන එක මට හීනයක් වෙලා තිබුනෙ. ඉස්කෝලෙ යන්න යන්න, පන්තියෙන් පන්තිය වසරින් වසර ඉහල යන්න යන්න ඔබව මුන ගැහෙන්න තිබුනු ඒ ආසාව වැඩි වුනා මිසක් අඩු නම් වුනේ නෑ. දහය වසරෙදි අපේ වයසෙ අනිත් හැමෝම වගේම මමත් ඔබව මුණගැහෙන්න මහා පරිමාණයෙන් සූදානම් වුනා මතකයි. මම දන්නව බහුතරයක් දෙනා ඔබව හමු වෙන්න කැමැත්තකින් හිටියෙ නැති බව. හැබැයි සත්තයි, මම කැමැත්තෙන් හිටියේ, මීට කලින් කාටවත් කියල නොතිබුනාට ඒ බව.

අවුරුද්දක් ඉවර වෙනකොට ඔබව මුන ගැහෙන්න බොහොම ලං වෙන බව දැනුන. ඒ දවස් වල ජීවිතේ ඊට වඩා රළු කරගන්න වෙයි කියල හිතුවට කිසි වෙනසක් නැතුව ගෙවිලා ගියා. ඔබට අවබෝධයක් නෑ ඔබව මුණ ගැහෙන්න අපි ආපු ගමනෙ අපි හිතින් ඡායාරූප ගත කරපු අපූරු තැන්. ඒ තැන් ආපහු හමු වුනත් නැතත් හිත කියන රීල් එකෙන් මකන්න බෑ. නෑ, මගේ හිත ඩිගිටල් කැමරාවක් නෙවෙයි.

ඔබව මුණ ගැහෙන්න අවුරුද්දක් විතරක් තියෙන බව දැන ගත්තු වෙලාවෙ අවුරුදු දෙකක් ගැන තීරණ ගත්ත මතකයි. ඒත් මම හිතුවෙ නෑ අවුරුද්දකුත් මාස 4ක් යනකොට ඒ තීරණ, ඔබව මුන ගැහෙන්න තිබුන හීනෙ වගේම ඔබ මුණ ගැහුනට පස්සෙ කරන්න හිතේ තිබුනු හැමදෙයක්ම පාලමක් උඩ ඉඳන් විසි කරපු මල් අහුරක් වගේ මගෙන් ඈත් වෙයි කියල.

මට හැමවෙලාවකම ඕනෙ වුනා ඔබ මුණ ගැහුනම ඔබ  මට මොකද්ද කරන්නෙ කියල බලන්න. ඔබව හමු වෙන්න මට කලින් ආපු අයට මල් දීල පිලිගත්තු වෙලාවල්, කනට ගහල එලවගත්තු වෙලාවල් හැම දෙයක් ම මම දැකල තියෙනව. ඉතින් අවුරුදු දෙකක මහන්සිය ඔබ මට මොනව කරාවිද කියල බලන එක.

නෑ, ඔබ මාව වැරදියට තේරුම් ගන්නව වගේ. මට ඕනෙ වුනේ මට ඔබ කරන්නෙ මොකද කියල බලන්න විතරයි. මට කොයි වෙලාවකවත් ඕනෙ වුනේ නෑ වෙන කිසි කෙනෙක්ට සාපේක්ෂව ඒ දිහා බලන්න. මම දන්නව බහුතරයක් තමන් ඔබව හමු වෙන විදියට වඩා අනුන් ඔබ හමු වෙන විදිය බලන්න ආසාවෙන් හිටිය බව. නෑ, සත්තයි මම එහෙම දෙයක් හිතේ තියන් හිටියෙ නෑ.

ඔබ සමහරවිට මාව නොදන්නවත් ඇති. ඔව්, මාව කොහොම දැන ගන්නද? ඔබව හමු වෙන හීනෙ හිතේ තියාගෙන හිටිය දහස් ගානකින් එක්කෙනෙක් විතරයි මම. කොහොම හරි ඔබව දකින හීනෙ හිතේ තියාගෙන ඒ වෙනුවෙන් මහන්සි වෙලා ඔබව දකින්න මාස හයක් තියාගෙන රටින් එපිට වුනු කෙනෙක් මම.

මට කවද හරි දවසක ඔබව ආයෙමත් හමු වෙන්න ඕනෙමයි. හැබැයි ඒ අර පරණ දවස් වල වගේ දාඩිය පෙරාගෙන ඔබ හමු වෙන්න බාධක බහු කරං ආපු ළමයෙක් විදියට නෙවෙයි. මට ආපහු ඔබව හමු වෙන්න ඕනෙ ඔබ මට එතකොට මොනව කරාවිද කියල බලන්නත් නෙවෙයි. මම ඔබව ආපහු දවසක හමු වුනොත් තියෙනව ඔබෙන් අහන්න දෙයක්. ඒක එදාට අහන්න තියාගන්න හිතෙන්නෙ කවද හරි ඔබව හමු වෙනකන් තව පරම්පරා ගානකගෙ ජීවිත ඔබේ අතේ තියෙන නිසා. ඔබ හමු වුනාට පස්සෙ ලෝකෙටම පේන්න හිනා වෙන දහස් ගණනක් තවත් ඇති වෙන නිසා. මේ කතාව ඔබටත් ඔබේ අයියාටත් කියන්න ලොකුම ලොකු වුවමනාවක් මට තිබුනා.

ඔබත් දවසක තේරුම් ගත යුතුයි, ඔබට මේ හැම දෙනෙක් ගෙම ජීවිත එක්ක සෙල්ලම් කරන්න බැරි බව. අපි හැමෝම මහන්සියෙන් රැකගෙන ආපු රිමෝට් එක ඔබට දෙන්නෙ ඔබ ඒක රකීවි කියන අදහසෙන් මිසක් ඔබ අපිව පාලනය කරයි කියන අදහසින් නෙවෙයි. ඔබ ඒක ඔබේ අයියාගෙ අතින් තියනකොට අපි අපේ අම්මල තාත්තල හරි, නැත්නම් ඔබම හරි කියන චැනල් එකක් දාල ඉවරයි. මතක තියාගන්න, ජීවිතේ කියන්නෙ ඒ ඔබ අපිට දාල දෙන චැනල් එක විතරක් නෙවෙයි කියල.

ඔබ තරම් මිනිසුන්ව යාන්ත්‍රීකරණය කරන්න දක්ෂ කෙනෙක් මට මුන ගැහිල නැති බව කියන්නම ඕනෙ. නිදහස් චින්තනයක් කියල පොඩ්ඩක් හරි තියෙන කෙනෙක් පාගල යට කරල දාල අච්චු පොතක් ඔලුවෙ ගිල්ලගත්තු අයව අහසින් තියන එක වරදක් නෙවෙයි. නමුත් ඒ ගිලුන අච්චු පොතට එහා අපිට ජීවිතයක් තියෙන්න ඕනෙ කියන එක ඔබට කියන්න ඕනෙ වුනා.

මම දන්නවා මම නිදහස් චින්තනයක් තියෙන මනුස්සයෙක්වත් ප්‍රයෝගිකව ජීවිතේට මුහුණ දෙන කෙනෙක් වත් නොවන බව. හැබැයි ඔබ මේ ලිපිය කවදහරි දැක්කොත් මතක තියාගන්න  මම වගේම තව දහස් ගානක් එහෙම නොවෙන එකට වග කියන්න ඕනෙ ඔබ බව. මම දන්නව වැරැද්ද මගේ කියල. මම ඔබව මුණගැහෙන්න හීනයක් තියාගත්තු එකයි වැරැද්ද. කවදහරි ඒ වැරද්ද මුලු අනාගතේම පරම්පරාවල් කරන එක නවත්තන්න තියෙනවනම්.............

තවත් හීනයක්, ඒත් හීන මත තමයි ජීවිතේ අඳෙන්නෙ. මම මෙහේ සීතලේ, ඒත් සතුටින් ඉන්නවා. හැබැයි හිතේ තියෙනවා එක හීනයක්. ඒ හීනෙ කොහොම හරි සැබෑ කරගන්නම්, කවද හරි ඔබව මුන ගැහෙන්නම්. ඔබව මුණගැහෙන්න වුවමනාව විතරයි අවශ්‍ය. එහෙනම් අදට ආයුබෝවන්! කලින් මුණ ගැහුනනම් අපි හොඳ මිතුරන් වෙන්න තිබුනා. එහෙනම් අද මම කියන්නෙ වෙනම කතාවක්.

ස්තුතියි.
මීට,
දෙවින් සංජුල ප්‍රේමසිරි

Sunday, January 29, 2012

යාත්‍රා කරමු එගොඩට


සයනයට ගිනි තබා වැතිරෙන්න
මරණයට කිති කවා හිනැහෙන්න
අවසරයි මට කිමිදෙන්න
ගිනියම් ලෝදිය සයුරක,
දිවිය නම් ශාපලත් දීපයෙන්
එගොඩට ගොඩ වෙන්න
ස්ංස්කෘතිය හා සදාචාරය නම්
යදම් වලින් මිදී...
නිවහල් භවයක් පතා
නිදහස් චින්තනයක නැංගුරම ඔසවන්න..
ඉඩ දෙන්න, පාවෙන්න ගුවනත
නිදහසේ නෞකාවට...
අත් වැල් බැඳන් පාවෙමු
පවන ගෙන යන ඉසව්වට,
තනමු අපේ ලොවක්
ව්‍යවස්තාවකින් තොර.........

Friday, January 27, 2012

අවසනට පෙර අහවරයි


වස විස පිරුණු තැනෙකි
රස නෙත ගැටෙන නොගැටෙන
හිස කකියතත් තදින්
හිත මහ හඬින් හඬලන

ගිනි පුපුරකි දිවිය
හසුරන්ට අපහසු
ගිනි අවියකි දිවිය
පුපුරන්ට පුපුරන්ට දිවි නැසෙන
මල් පෙත්තකි දිවිය
අලංකෘත මුත්
සිඳලන්ට පහසු....

මුත් පැමිණියේ කොහි සිටද
එතරම් හැඟීමක්
දමා යන්නට අප සැවොම

සිතද හදවත
හැඟීම්ද අප අත තබා
දිවිය රැගෙන යන ඒ ගමනට
ජයෙන් ජය උඹට අයියේ

නිවන් සුව පතන්නේ කෙලෙස?
හිටහන් උඹ මේ සසරේම
තව භවයක නැවත
අපි මුණ ගැහෙන තෙක්

එදාට කියන්නම්
ඔය දිවිය
ඔබේ පමණක් නොවන බැව්;
නොහැකි බව එලෙස
අවැසි විට
අප දමා යන්නට.....

ඇස් ගෙඩි තියෙන තුරු
මෙතරම් දෙකොපුල් තෙත් නොවේවා

දිවිය නම් වෘතාන්තය
අවසනට පෙර අහවරයි.......


Monday, January 9, 2012

ම පුර විසිතුරු







පුර අලංකෘත
දුටු නෙතින් නෙත
පහන් වනු ඇත
සිත් පහණ් මත

කප් සියක් කල්
සුපිපෙනා මල්
හදෙහි නිවහල්
තුටින් මනකල්

සොඳුරු සයුරත
බිඳෙන රළ මත
මැවෙන පිනි කැට
දුවති උවනත

සිඹින දෙකොපුල
සිහිල් මඳනල
තෙජින් ඔද ලද
පුරෙහි සිරි බල

වියැති විරුවෙකු
පුරෙහි දෙවිඳෙකු
ලෙසට එපවුරු
බලව් රැකි යුරු 

පහණ් නිම කල
අඩුව නොම බල
රකිති සැම කල
පුරෙහි සැම තල

ගොම්මනක හිඳ
මියෙන හිරු රත 
විඳින්නට තව
රිසි තැනක් වෙද

උයෙනෙකිය පෙම්
සදා මනරම්
මෙවන් විස්කම්
නොදුටු නෙත් කිම්