Saturday, December 31, 2011

හිරු අනෙක් පසින් පායයි නම්



හිරු අනෙක් පසින් පායයි නම්
ලොව නවමු ඇසක් බිහි වේවි
කවි නව මුහුණුවරක් ගනීවි
අපි අපිම ගැන
අලුත්, වෙනත් හිතකින් හිතාවි

හැමදාම දකින දේ එලෙසම දකිනු කුමට?
දුර ඈත තැනෙක 
අපි නොදුටු සොඳුරු රූ
හඹා නොයනු ඇයි
තරු කඩා පොළොවට දමා
හඳ තමා ලඟට ලං කරනු නොහැකි ඇයි

ජනතාව පැරණි ඒ තැනින් පිටට නො එද?
මඟ පාර හොඳට
හැමදාක තිබේ නම්
වඩිමු නිවහල් ව;
හැමදාම පෙර ලෙසම
මැරුණ, දිරුණ තැන ගෙවල් තනා
අපි තැවෙනු කුමකටද?

Friday, December 30, 2011

ඉන්දියන් සාගරයට තනිවම බසිමි



හඬක් නැති
කතාවක් නැති
කිසිවකුත් නැති
නිසොල්මනේ
අනාගතයක් නැති
අතීතයක් නොහඳුනන
හිස්ම හිස්
වත්මනක
දෑස් වසාගෙන
ඇමරිකානු සිහිනයද
රුසියානු විප්ලවය
මැදින්
චීන ආර්ථියකයද
නැඟී එන ඉන්දියාවද
පසුකර
බිඳ වැටුනු
බර්ලින් තාප්පයෙන්
කොටසක් කඩා
නේටෝවට රවා
නැවත
ඉන්දියන් සාගරයටම
තනිවම බසිමි.

Wednesday, December 21, 2011

මේ රාත්‍රියේ.....



මේ රාත්‍රියේ.....
සඳ මුදුන් වෙලා අහසේ....
සිපගන්න තුරුලු වෙන්න
ළඟින් ඉන්න සිනාසෙන්න වරම් නෑ

සඳ කාන්තියේ.....
ලොව ගී ගයනා මොහොතේ.....
මට එන්න සිත හදන්න
ගී ගයන්න සනසවන්න වරම් නෑ

සඳ කාන්තාරයේ....
මල් පිබිදෙනවා රහසේ....
ඔබ ඒද දිවිය වේද
මගෙ නොවේද කඳුලු ඒද නොදනිමි

ගොළු රාත්‍රියේ....
හද පාලු මකන යායේ.....
හද ගාව කඳුලු ගෑව
ඔබත්, මාව රැගෙන ආව මඟ යමි

සිප ගන්න තුරුලු වෙන්න
ළඟින් ඉන්න සිනා සෙන්න වරම් නෑ.....
ඔබ ඒද දිවිය වේද
මගෙ නොවේද  කඳුලු ඒද නොදනිමි.....

මට එන්න හිත හදන්න
ගී ගයන්න සනසවන්න වරම් නෑ......
හද ගාව කඳුලු ගෑව
ඔබත්, මාව රැගෙන ආව මඟ යමි....

බලවත් නිමේශය



පෙනෙනමානයේ
කවුරුන්හෝ
සක්මන් කරයි මදෙසට;
ඇස ගැටෙන මානයේ
වෙන කිසිවකුත්
නොමැති බව පෙනෙයි මට

සෙමෙන් ඔහු මා
ළඟට ආ කළ
පිස්තෝලයක් ගෙන
ට්‍රිගරයට අත තබා
කොකා ගස්සයි

උණ්ඩයක් මා හිස්කබල මත
වැදී එතුලට කා වදින විට
මාද රැගෙන මා රිවෝල්වරය දෑතට
වෙඩි තැබූවෙමි ඔහුගෙ දෙපයට

මම තවම හිටගෙන
ඔහු මා ඉදිරියේ දනින් වැටී
දැන් කවුද බලවත්?

Monday, December 5, 2011

මම සහ චිත්‍රපට ශාලාව


චිත්‍රපට ශාලාව අභියස සිට
බලා සිටිනෙමි පුවරුවක් දෙස
කුමක්දෝ එහි ලියා ඇත,
හින්දි, ඉංග්‍රීසි නළුවන්ද ඇතුව;
මා බලා සිටින මුත් නොදන්නෙමි
එහි කුමක් ඇතිද කියා;
හිත දුවයි මා ජීවිතය නම් ෆැන්ටසියේ
එහා සිට මෙහා කෙලවරවල් සොයා.
ඊයේ රැකියාව නැති උනත්; නැතත්
ගිය සතියේ බිරිඳ මා දමා ගියත්; නැතත්
දරුවන් මහ මඟදි අද මුණ ගැසුනු විට
මා හා සිනහ නොවුනත්; වුනත්
මා අතේ බෝතලයක් තිබුනත්; නැතත්
ගිය මාසයේ සිතාගත් පරිදි
මම අද චිත්‍රපට ශාලාව අසලය.
චිත්‍රපටය තිරගත වෙයි
අද දිනට සිව්වෙනි වතාවට,
මම තවම චිත්‍රපට ශාලාව අසලය

Friday, December 2, 2011

හැඟුම් සහසක්


හැඟුම් සහසක් තුඩින් ගෙන
මහ හඬින් ගයනා
විහඟ ගීතය
වසත් කල මල් නෙලන්නට
මට වරම් නොදෙනා බව පෙනේ

නැවුම් පොළවට හෙමින් බට
හංසියක් විලසට
ගගනතින්
ඈ වඩින දෙස නෙතු යොමා
අද මා හඬා වැටෙනෙමි, ගිනි මතින්

දැවෙන දෙරණත සිඹින මුව
හද කරා ගෙන යන
සොඳුරු උණුහුම
හදේ මවනා රූප මායා
සැබෑ දිවියට පුදයි නම්

වසා ඇති දොර කවුලු හැරදා
හදේ විමනට
හඬගසන මුත්
දැවී අලුවෙන සැබෑ ලෝකය
හිතේ විසකුරු කටු අනීවිද?

නිදහස් සිතුවිල්ලක්?


දනින් වැටුනු හදවත
යලි දෙපයින් නැගිටුවන්නට
අත දෙන්න තරම්
කොඳු ඇට පෙළක් ඇති
සමාජයක ඉපදෙන්නට
කෙතරම් පැතුවත්
කෙතරම් සිහින මැව්වත්
එහෙව් සමාජයක කිසිදින
නූපදිනු ඇත්තේ
අප සමාජයම
අපේ හදවත
දණගස්වන බැවිනි.
ඒ අප නූපදින සමාජය
සිහිනයක්ම පමණක් වුවද,
මෙලෙස දනින් වැටී
කතා බස් නොකර
නිකරුනේ මියෙන
දස දහස් ගණනකට
ඒ සිහිනයම
ජීවිතය වේවි..