Saturday, November 12, 2011

වෙන්වීම හා තනිවීම


කණ පසා කරගෙන
යන මහා හඬ පට
නාද රටා, සංගීත රිද්මය
හද දෙදරවන හඬ
කම්පිත සිත් අවුස්සන

පිරිසකගෙ හඬ
කණ් පිනවන;
කට හඬ හිස් වචන
එකිනෙකට මුසුවෙන

විහිළු තහළු, මුසා බස්
කණ් පසා කර ගෙන, හදවතට
එල්ල වන පිහි පහර මැද

මුලු ලොවම සාදයකි
සැවොම සතුටින් විඳින

නමුදු හද විමසාවි විරාමයක්
ස්වහාවයෙන්ම සැපයිය නොහැකි
වෙන්වීම හා තනිවීම හැර
අන් මඟක් නැතිද?

වෙන්වීම දුකකි සැබැවින්ම,
නමුදු තනිවීම?







Wednesday, November 9, 2011

අපි ආයෙමත් ඇරඹි තැනටම ඇවිදින්


අපි ආයෙමත් හිටි තැනටම ඇවිදින්
හීන වලට දිය වෙන්න ඉඩ දෙන්න
පාට වලට බොඳ වෙන්න දිරි දෙන්න
මේ සක්වලේ කොතැනක හෝ
අපි නැවත හමුවේවි

වචන වලට ඉඩ නොවුනු කාලයක් මතකයි.
වචන වලට හිස නවපු කලෙක අපි
හිතට හොරෙන් ඒ වැටුනු කඳුලු
පිස දමනු අමතකද

හීන වලට තටු නොවුනු කාලයක් මතකයි.
ලොවට හොරෙන්, හිත දැවෙන රිදෙන විට,
අපට අපේ ලොව මවනු පිනිස
හැලු රුහිරු අමතකද?

අපි ආයෙමත් ඇරඹි තැනටම ඇවිදින්
මේ සක්වලේ කොතැනක හෝ
අපි නැවත හමු වේවි



Wednesday, November 2, 2011

සංස්ථිතික (conservative) ප්‍රේමය


ඔබ මාගේය
මාද ඔබේය
ඔබ මගේ පුද්ගලික වස්තුවකි
මම ද එසේමය ඔබ හට

ඔබට අවැසි විට 
සනසවන්නම්
ඔබට අවැසි විට
අවැසි දේ
ලබා දෙන්නම්
ඔබ හඬන විට
කඳුලු පිසලන්නම්
ඔබට අවැසි විට
ඔබව සිපගන්නම්

ප්‍රේමයෙහි
ඔබට අවැසි දේ 
ඔබ ලබාගන්න
මට අවැසි දේ 
මම ලබා ගන්නම්

සොඳුරු සාධාරණ ජීවිත
අපේ ඒ
සංස්ථිතික (conservative) ප්‍රේමය තුළ