Monday, October 24, 2011

කොදෙව්වක පිපුණු මලක්



කොදෙව්වක පිපුණු මලක්
කිසිවකුට අගයක් නැති,
නමුදු අත ඇති සියලු දෑ දී
අතින් අත මාරු වන

විටෙක ලොකු ලොකු මහත්වරු
තවත් විටෙක රජයේ නිලධාරීන්
තැනක් නොතැනක් නැති
පාලු ජීවිතයට එබී බලත්

කෝච්චි ඉස්ටේෂම
බස් ස්ටෑන්ඩ් එක කිට්ටුව
කොටුව උඩ, සිනමා හෝල් ලඟ
ඕනෑ තැනක සොයා ගත හැකි

කැමැත්ත අකමැත්ත ගුලි කර
කුණු බක්කියට විසිකර
වැරැද්ද නිවැරැද්ද
සොයන්නට තැත් නොකොට

කවන්නට පොවන්නට
දරුවනට, මව් පියට,
නිදිමරා වෙහෙසෙන,

කොදෙව්වක පිපුණු මලක්
කිසිවකුට අගයක් නැති





අකුණක්!


ඔබ අකුණක්
මගේ හදට තදින් වැදුනු 
අකුණක්

බොර වුනු අහස
එලිය කළ ක්ෂණික නිමේශයක්
අඳුරු පරිසරය
වර්ණවත් කළ මොහොතක්

ඔබ අකුණක්
මගේ හදට තදින් වැදුනු 
අකුණක්

ඒ කුඩා
නිමේශයට පමණක්
එලිය ගෙනා
රුදුරු අකුණක්
එලියට පසුව හද තුළ
ගිගුරුම් ගුගුරුවාලූ
අකුණක්

හද තුල කඳුලු
මහා වර්ශා පුබුදුවාලූ 
ඔබ

මගේ හදට තදින් වැදුනු 
අකුණක්




Saturday, October 15, 2011

කැරම් ඉත්තන් හෙවත් අපි



අපි සැවොම ඉත්තන් වෙමු
ලොකු කැරම් සෙල්ලමක

ඩිස්කයට ගහන අය
වල වෙතට යොමු කරන
ඩිස්කයක් වැදුනු පසු
වලපල්ලටම යන
කැරම් ඉත්තන් වෙමු

හිඳී
සුදු පාට කලු පාට
පාට දෙකකට බෙදා
පිල් දෙකක තනිකොට;
පලමුව එකට,
දෙපසටම නැති
රෙඩා රැකගෙන

ඩිස්කය වැදුනු පසු
බෙදී විසිරෙන
විසිරුනු පසුව
දෙපිරිසම,
ඩිස්කය වැදී
වලපල්ලටම යන;
වලට වැටෙනු මිස
අන් මඟක් නැති
පුවරුවට කොටු වුනු
ඉත්තන් වෙමු අපි

එකම ඉත්තන් පිරිස
සුදු පාට කලු පාට ලෙස
බෙදී ඇති හෙයින්
එකම පිරිසක් බව නොදැන
යයි එකම වලටම
වෙන වෙනම

අවසනදි,
කවුරුන් රෙඩා පොට් කලත්
සියලුම ඉත්තන්
හෙවත් අපි,
වලෙහිම හිඳ
හිනැහෙන ඩිස්කයට
වඳිනෙමු!







Tuesday, October 11, 2011

පාර්ලිමේන්තු ප්‍රේමය














ආදරය නොවෙයි
දේශපාලනය
චොකලට් නෙවෙයි
දඩමස්
පෙම් හසුන් වෙනුවට
රාජකාරි ලිපි
කුඩයක් නොවෙයි
අත තුවක්කුව
තොරොම්බල්, ඉමිටේෂන් නැත
දඹ රත්තරන්
පාර්ලිමේන්තු ප්‍රේමය
එසේමද?

Thursday, October 6, 2011

අපි යන මේ මඟද අවසන විනාසෙට


දහසක් දෙනා තම මුළු දවසම වෙහෙසේ
අඹු සැමි නොවන යුවලක් කෙලියට සැරසේ
දන සෙන් බෝඩ් අල්ලාගෙන උස අහසේ
උද්ගොසනකට රිසියෙන් සැරසෙන විලසේ


දහසක් ළමුන් පාසල් යන කලාවට
සහසක් බලා සිටියා ඇර රිලා කට
පිරිසක් මඟ අසල ලොල් වී සුරාවට
අපි යන මේ මඟද අවසන විනාසෙට


පසිඳු ළඳුන් ඇත රඟ දෙන විලාසෙන
කිසිවකු නොදනිතිය හවසට නටන රඟ
කන්නට යමක් නොමැතිව ඇත දසක් දන
දෙන්නට මුදල් නැත උන් නොනැටුවොත් රඟ


කන්නට යමක් නැතිවත් අත, අඹුන්ගේ
නවතනු නොහැක පානය ඒ තමන්ගේ
හසුවන්නැතුව අඟනුන්ගේ වසන්ගේ
යන්නේ කොපමණද ගෙට තම දරුන්ගේ


පුරවර මැදින් හමනා ඒ කුණාටුව
උද්ගොසනකට පෙන්වයි එහි මුසා බව
තඹයක වගක් නැති කළ අත ආණ්ඩුව
කාහට කියනු දැයි ඒ නඩු තීන්දුව


යායක් පුරා නැවතුනු වාහන සද්දේ
මතකෙට නඟයි තිස් වසරක් කළ යුද්දේ
වාහන එකින් එක පවනට දුම් විද්දේ
ඕකද අපිට දුන් ඒ උරුමය සුද්දේ


නගරය අසල කඩයක් තුළ ඇත ගින්නක්
වැස්සට වුවද එය නම් නොම නවතින්නක්
නොපෙනෙන නමුත් අවටට එය පැතිරෙන්නක්
එය දෙයි පවුලකට කලකට බඩගින්නක්


මේ බැව් නොදන්නා අය පුර, පුරාවට
හයියෙන් සිනාසෙයි කට පිරි මුසාවට
කිසි අගයක් නැතිද අවංක හිනාවට
අපි යන මේ මඟද අවසන විනාසෙට







Saturday, October 1, 2011

( කාළකණ්ණි ) වැස්ස


අද වැහි දවසක්. හරිම කම්මැලි අඳුරු දවසක්. මට කොළඹ යන්න වෙලා. මම කිසි කැමැත්තකින් යන ගමනක් නම් නෙවෙයි අද යන්න තියෙන කොළඹ ගමන. උදේ නැගිටිනකොටත් වැස්ස. දවල්ට කනකොටත් වැස්ස. හවස තේ බොනකොටත් වැස්ස. ඔය අතරමැදත් වැස්ස. ඔය වගේ දවසක් ප්ලේන් ටී එකක් ගහල හවස පොඩ්ඩක් හාන්සි උනාම තියෙන සැප. ඒවායින් වැඩක් නෑ. හවස 7.00 වෙනකොටවත් නගින්න ඕනෙ බස් එකට.

දවල් එලියට බැස්සෙ කඩෙන් තේ කොල පැකට් එකක් අම්මට ගෙනත් දෙන්න. මගේ කුඩෙත් අරන් එලියට බැහැල යනකොට සෙරෙප්පුවෙ මඩ එකයි. සෙරෙප්පුවත් මහ ලොකු එකක් නෙවෙයි නිසා සෙරෙප්පුවට උඩින් මඩ ගිහින්. ගන්න දෙයක් නෑ. ගෙදර ආපු ගමන් අම්ම බනින්න පටන් ගත්ත නේද. කලිසමෙන් ගන්න දෙයක් නෑ මඩ ඉහිල. මම කියල මොනව කරන්නද? මම ඉතින් අහසට බැන බැන ඉන්නවා.

අද මම පුස්තකාලෙ පැත්තෙත් යන්න කියල හිටියෙ. කොහෙද, මේ කොළඹ ගමනයි,( කාළකණ්ණි ) වැස්සයි නිසා මුකුත් කරන්න වෙන්නෙ නෑනෙ. දැන් 7ටත් කිට්ටුයි. මම ඉතින් හෙමින් සැරේ කොළඹ යන්න ලෑස්ති වෙනවා. ගාල්ලෙ බස් ස්ටෑන්ඩ් එකට ගිහින් බස් එකක් අල්ලගන්න ඕනෙ. කොනක සීට් එකක් අල්ලගෙන නිදා ගෙන යනව කොළඹට යනකම්. මම ඉතින් කොහොමත් දුර ගමන් යන්න ආස මනුස්සයෙක් නෙවෙයිනෙ.

බස් එක ගන්න ටවුමට යන්න වෙන්නෙ තාත්තගෙ පරණ මෝටර් බයිසිකලේ. අනේ මන්ද. තාත්තට මේ වැස්සෙ එලියට බහින්න කියන්නත් බෑ. කමක් නෑ, තාත්තට කියල බස්සගන්නව. මම වෙන මොනව කරන්නද? මම හිමින් ඇඳගෙන තාත්තට කිව්ව මාව ටවුමට දාන්න කියල.

මම තාත්තට කිව්ව වගේ තාත්ත මාව ගාල්ලෙ පොලීසිය ගාවින් බැස්සුව. මම පොඩ්ඩක් කඩේකට බැහැල තෑග්ගක් ගන්න ඕනෙ කියල මම තාත්තට කියල තිබුනෙ. මම යන්නෙ අපේ නැන්දගෙ දූට අලුත ඉපදුන බබා බලන්නනෙ. අම්මටයි තාත්තටයි දෙන්නටම අමාරුයි දැන් කොළඹ යන්න. ඉතින් අද මම යන්නම ඕනෙ. මම බැහැල ටවුමෙ පොඩ්ඩක් ඇවිදල බබාට පොඩි දේවල් ටිකක් ගත්ත. ඔව්, අඳුමෙන් නම් දැන් ගන්න දෙයක් නෑ. මඩ එකයි. ටවුමට වැස්ස නැවතිලා තිබුනට ලා පොදක් තාම වැටෙනවා. ඔය වැහිබර ගතිය නිසා අද වෙනදට වඩා අඳුරුයි.

*             *             *             *             *

මම බස් එකෙන් වාඩි උනා. කලින් හිතා ගත්තු විදියටම කොනේ සීට් එකක් අල්ලගත්තෙ බස් එකේ වීදුරුවට හේත්තු වෙලා නිදා ගන්න ඕනෙ නිසාමයි. බස් ස්ටෑන්ඩ් එකට ආපු වෙලාවෙ ඉඳල ගොඩක් වෙලා මට ඉන්න ඕනෙ උනේ නෑ බස් එකක් අල්ලගන්න. තාම බස් එක යන්න පටන් ගත්තෙ නෑ. කොන්දොස්තර අයිය බස් එකට තාම මිනිස්සු පටවනව. කොහොම හරි බස් එකට මිනිස්සු නැගල ඉවර උනහම තමයි බස් එක අද්දන්න පටන් ගත්තෙ.

බස් එකේ කොන්දොස්තර මැදි වයසෙ මනුස්සයෙක්. බොහෝම සාමාන්‍ය 'කොන්දොස්තර' පෙනුමක් ඒ මනුස්සයට තිබුනෙ. බස් එක අදින්න පටන් අරන් බොහොම ටික වෙලාවකින් එයා මගේ ගාවට ආව ටිකට් එක දෙන්න. ( මම බස් එකේ ඉස්සරහ හරියෙ හිටියෙ ). මම එයාට ඉල්ලපු රුපියල් 100 දුන්න. බස් එක ඉස්සරහට යනකොට මම වීදුරුවට හේත්තු උනා නිදා ගන්න කියල. මට වීදුරුවෙන් පේනව බස් එකේ ස්යිඩ් කණ්ණාඩිය. සයිඩ් කණ්ණාඩියෙන් පේනව බස් එකේ ඩ්‍රයිවර් උන්නැහේ. එයා ටිකක් වයසක මනුස්සයෙක්. වැඩි කතාවක් බහක් තිබුන පාටක් පෙනුනෙ නෑ කාත් එක්කවත්. ටිකක් බීලද මන්ද හිටියෙ.

මම එක එක දේවල් කල්පනා කර කර යනව.  ගිංතොට පහුවෙනව, රත්ගම පහුවෙනව, දැන් හික්කඩුව. මොන පැත්ත බැලුවත් පොල්. පොල් පොල් පොල්. පොල් දැන් ගිනි ගනන්. පොල් ගෙඩිය යකෙක්. පොල් ගෙඩිය එනව මාව මරන්න. මෙන්න යෝධ පොල් කුරුමිණියෙක්. මාව කන්න හදනව.

හොඳ බ්‍රේක් පාරකට මාව ඇහැරුණා. දැන් බෙන්තර පාලම පහු උනා විතරයි වගේ. මට දැන් තමයි තේරුනේ බස් එක පොලීසියෙන් නවත්තල කියල. හරි එහෙනම්. ඉමුකො තව ටික වෙලාවක්. තාම වටපිටේම වැහිබරයි. දැන් ටිකක් රෑ වෙලා නිසා අඳුරු බව සාධාරණයි. මෙච්චර වෙලා නිදා ගෙන ගිය මට දැන් තමයි පොඩ්ඩක් වටපිට බලන්න හිතුනෙ. බස් එක පිරිල නෑ. සාමාන්‍යයෙන් මේ වගේ බස් එකක කපල එකක් සෙනග. අද එච්චර නැති එක හොඳයි. මම ඒ නිදහසට පොඩ්ඩක් කැමතියි.

බස් එකේ කොන්දොස්තරයි ඩ්‍රයිවරුයි ආපහු බස් එකට නැග්ග.

"මොකෝ උනේ?" කවුද ඇහුවා.

"ප්‍රශ්නයක් නෑ. ඔක්කොම හරි" කොන්දොස්තර උත්තර දුන්න.

මම ආපහු පොඩ්ඩක් නිදා ගන්න ඕනෙ. මේ ගමන පුදුම විදියට කම්මැලියි.
*             *             *             *             *
මම කාසියක් දුන්න කොන්දොස්තරට, කලුතර බෝධියට දාන්න කියල. ඒකට කාසි තියෙන අයගෙන් කාසි ඉල්ලනකොටයි මට ඇහැරුණේ. කලින් වගේ විකාර හීන නම් නෑ මේ සැරේ. මම කොළඹ යනව කිව්වට මොරටුවෙන් බහින්නයි ඕනෙ. ඉතින් වැඩි වෙලාවක් නැති නිසා මම නිදා ගන්නෙ නැතුවම ඉන්නව කියල හිතා ගත්ත.

එක්කො දිගටම වැස්ස වැහැල තියෙනව, නැත්නම් වැස්ස මම ඇහැරෙන වෙලාවටම පටන් ගන්නව. මොක උනත් මම වීදුරුවෙන් එලිය බැලුවොත් පේන එකම දේ වැස්ස. මහා වැස්සකුත් නෙවෙයි ඒක. ඒ උනාට දවසම අවුල් කරල දාන ජාතියෙ වැස්සක්. නෑ, මේකට වැස්සට බැනල වැඩක් නෑ. වැරැද්ද මගේ. මම කම්මැලි උනා කියල වැස්ස පලිද? කොහොම උනත් ඉතින් මේ හවස් වෙලාවෙ අව්වක් තිබුන කියල ඇති වැඩකුත් නෑනෙ. මම කිසි ප්‍රශ්නයක් නැතිව නිදා ගෙන ආවෙත් මේ වැස්සට පින් සිද්ද වෙන්නනෙ.

වාද්දුව පහු වෙලා, දැන් පානදුර හරියෙ. පානදුරෙන් මොරටුවට විනාඩි කීපෙක වෙනස. දැන් ඉතින් බස් එක මෙච්චර වෙලා ආපු විදියටම ඉස්සරහට යනව.( පරණ පාර දිගේ ) මේ කොළඹ ගමන ඇත්තටම මාර කම්මැලියි. වෙනද නම් කොළඹ යනකොට මොකක් හරි හොඳ සිද්ධියක් වෙනව. අද මුකුත් නෑ. එක්කො මොනව හරි වෙනකොට මම ඇහැරිලා ඉඳල නෑ.

පානදුර පාලම හරියෙදි බස් එක පොඩ්ඩක් ගැස්සෙන්න ගත්ත. (බොහොම පොඩ්ඩක්. මට හිතන්න වෙන දෙයක් නැති නිසා බස් එක ගැන හිත හිත ගියේ. ඒක නිසා දැනුන මිසක් දැනෙන ජාතියෙ ගැස්සිල්ලක් නෙවෙයි ). හැබැයි බොහොම ටික වෙලාවකදි බස් එක හෙමින් පාරෙන් පිටට පැනල ගිහින් පාලමේ අත්වැලක හේත්තු වෙලා නැවතුනා. බස් එකෙන් භාගයක් ම නිදි. කොන්දොස්තරයත් නින්ද ගිහින්. බස් ඩ්‍රයිවර්ට නිදිමතට නින්ද යන්න ඇති. වයසක මනුස්සයනෙ. හැබැයි ඉතින් වැරදිලා හරි බස් එක ගඟට වැටුනනම්?

මම ඉතින් බස් එකේ ඉස්සර හරියෙ හිටපු නිසා පොඩ්ඩක් ඩ්‍රයිවර් ගෙ සීට් එකට ඔලුව දාල බැලුවා. ඒ මනුස්සය හොඳට නිදි. එතකොට කොන්දොස්තරට ඇහැරුනා. කොන්දොස්තරත් ඩ්‍රයිවර් දිහාට හැරිලා බැලුවා.

*             *             *             *             *


ඊලඟ දවසෙ පත්තරෙන් මම දැක්කෙ ඒ ඩ්‍රයිවර් මැරුණෙ heart attack එකකින් බව.