Thursday, September 29, 2011

පාන්

වදිනවා පහර
යකඩ පොලු මුගුරු වලින්
ඒ අහිංසක පාන් ගෙඩියට
පුංචි බොඳ වුනු කඳුලු බිඳු
පනිනු පෙනේ විටින් විට

ඒ යකඩ පොලු
නොනවතයි පාන් ගෙඩියට
පහර දීම
කෙතරම් හඬා වැලපුනත්

කුරුසියේද තබා
ඇණ ගසනු පෙනේ
වරදක් නොකල පාන් ගෙඩිය

පෙති පෙති කපා
හතර අත විසිකොට
ගෙනෙයි පාන් ගෙඩිය වෙනුවට
අද කේක්!


Thursday, September 22, 2011

සිංහල පාඩම

මගේ ගම මාතර. ඒ උනාට ඉගෙන ගත්තෙ ගාල්ලෙ ලොකු ඉස්කෝලෙක. A/L ඉවර වෙලා අවුරුද්දක් එකහමාරක්  විතර ඇති. ඒ උනාට මේ දවස් වල ගාල්ලෙ පන්ති කරල තමයි කීයක් හරි හොයාගන්නෙ. මම සිංහල පන්ති කරනව O/L ළමයින්ට. ඉතිහාසයත් ඉගැන්නුව ටික දවසක්. ඒක හරි යන්නෙ නැතුව ඇති ළමයින්ට. සිංහල පන්තියට නම් ගොඩක් ළමයි එනව.

මගේ දවස ලේසි නෑ. අක්ක ඉස්කෝලෙක උගන්නවා අපේ ගමේ. ඉතින් අක්කගෙ පොඩි ළමයි උදේ වරුවෙ බලාගන්නෙ මම. හැමදාම දවල්ට සුද්දා හදපු කෝච්චියේ නැගල ගාලු යනව. ඒ කෝච්චි ඇතුලෙ සුද්දා ගෙනාපු ගඳ බීම බිබී මිනිස්සු යනව. මම ඉතින් හැමදේම බල බල හිතින් හිනා වෙවී ගාලු යනව. ඇත්තටම උගන්නන්න මම හරි ආසයි. කැලණි යන්න සල්ලි පොඩ්ඩක් මදි නිසා මේ ටියුෂන් කරන්න හිතුවට මේක හරි සුන්දර රස්සාවක්.

එදා කවද දවසක්ද කියල හරියට මට මතක නෑ. කොහොම හරි එදත් වෙනද වගේ මම කෝච්චියෙ ගාලු ගියා. ගාලු ඉස්ටේෂමෙන් බැහැල බස් ස්ටෑන්ඩ් එකෙන් කලේගානට බස් එකක් ගත්තෙ මම උගන්නන තැනට යන්න. මම එතනට යනකොට 2.15 ට විතර ඇති. 2.30 ට පටන් ගන්න පන්තියට ඒ වෙනකොට සෑහෙන ළමයි පිරිසක් ඇවිත් හිටිය.
ගොඩක් ළමයි කලින් ඇවිත් ඉන්නව පන්තියට. ඒ කාලෙ අපි නම් ඔය කට්ටියට කිව්වෙ ගොට්ටො කියල. ලොකු ඉස්කෝලෙක එක ගෑනු ළමයෙක් දකින දකින තැන ගුඩ් මොර්නින්, ගුඩ් ආෆ්ටර්නූන් එහෙම කියනව. අර අපේ භාෂාවෙන් නොම්බර එකේ ගොට්ටෙක්. ඒ උනාට මගෙන් ඉගෙන ගන්න ළමයින්ට එහෙම කියන්න අයිතියක් තියෙනවද මට? කොහොම හරි එදා මම පන්තියේ පෙන්නුව ප්‍රසිද්ධ මිනිස්සු සිංහල භාෂාව වැරදියට පාවිච්චි කරපු තැන්. ළමයිනුත් ඒවා කියවල හිනා උනා.

කොහොම හරි පන්තිය ඉවර වෙලා මම ගෙදර එන්න හදනකොට අර මම කලින් කිව්ව ගෑනු ළමය මං ගාවට ඇවිත් පොඩි ලියමනක් දීල කිව්ව "සර්, මේක සර් ගෙදර ගිහින් කියවන්න" කියල......... එහෙම කියල ඒ ළමය දුවල ගියා. මට හිතන්න වත් උනේ නෑ. ඔන්න මගේ භාෂාවෙන් ම කියනවනම් ඒ වෙලාවෙ මම අන්දුන්කුන්දුන්!

කොහොම හරි මම ඒක සාක්කුවෙ දාගෙන බස් එකේ නැගල ආයෙත් ගාලු ආව. කෝච්චියට නගින වෙලාවෙ හිට්ය සෙනගයි, තිබුන තදබදයයි නිසා මට අර කොලේ සම්පූර්ණයෙන්ම වගේ අමතක උනා. ආපහු මට ඕක මතක් උනේ උනවටුන හරියෙදි වගේ. මම ඉතින් කොලේ අරගෙන හිමින් කියෙව්ව.

"ආදරනීය රුවන් සර්. මාගේ හදවතේ යම් කෙනෙකුට ඉඩක් ඇත්නම් ඒ ඔයාටම පමණි. නමුදු ඒ හීනෙ සැබෑ වන්නක් නෙවෙයි කියල මා දනිමි. මීට පෙර භවයක්දීත් මට මගේ සර් අහිමි වුන බව මට හැඟෙනවා. සර් නැතුව එක තත්පරයක් මට ඉන්න බෑ සර්. I love you සර් මට තව දුරටත් මේක හිතේ තද කරං ඉන්න බෑ"  "ආදරනීය දිනිති

ඕක තමයි ඒ පුංචි කොල කෑල්ලෙ ලියල තිබුනෙ. මට මුලින් කියවනකොට හිනහත් ගියා. හැබැයි ඒ ගෑනු ළමය ගැන හිතනකොට පවු කියලත් හිතෙනව.

මම එදා ගෙදර ගිය ගමන් කොලයක් අරගෙන ඒ ලියමනේ තිබුන වැරදි ටික ලියා ගත්ත. ඊට පස්සෙ සතියෙම මගේ ඔලුව අවුල් වෙලා තිබුනෙ. ඒ ගෑනු ළමය ලස්සනයි, හොඳ තැනක මං හිතන්නෙ. ඒත් මට පුලුවන්ද මගෙන් ඉගෙන ගන්න ළමයෙක් එක්ක යාලු වෙන්න? කොච්චර කැත වැඩක්ද ඒක? කොහොම හරි මම ඒ ළමයගෙ සිංහල භාෂාව හදනව කියල හිතාගෙන අර ලිව්මෙ වැරදි ටික ඒ ළමයට කියන්න හිතා ගත්තා.

ඔහොම ඒ සතිය ගෙවිලා ගියා. මම ආපහු අර ගෑනු ළමය හිටපු පන්තියට යන්න ලෑස්ති වෙනකොට මගේ හිතේ අමුතු අමුතු දේවල් කැරකෙනවා. මම මොනව කියන්නද කියල හිතා ගන්න අමාරුවෙන් එදා පන්තියට ගියා. වෙනද වගේ මම එදත් ඉගැන්නුව. පන්තිය ඉවර වුනහම දිනිති මගේ දිහා නොබලම යන්න හැදුවා.

"දිනිති පොඩ්ඩක් මෙහේ එන්න"

"සර්"

ඒ ළමයගෙ මූන රතු වෙලා තියෙනව මම දැක්ක.

"මොකද්ද අර මට දුන්නෙ?"

"සර්....මේ..."

"දිනිති, ලියමනක් ලියද්දි ඔයිට වඩා ඔයා සැලකිලිමත් වෙන්න ඕන. බලන්න ඔයා මට දීපු ඒ ලියුමෙ වැරදි කොච්චර තිබුනද කියල."

"ඔව් සර්"

"බලන්න දිනිති. ඔයා මගේ පන්තියට ඇවිල්ලත් ලියන්නෙ ඔය මට්ටමේ නම් මට ඔයාගෙ විභාගෙ ගැන විශ්වාසයක් තියන්න අමාරුයි. ඔයා මේ වගේ ලියුමක් ලියද්දි එක තීරණයක ඉන්න ඕනෙ. මුලින් ලියන භාෂාවෙන් පටන් අරන් පස්සෙ කතා කරන භාෂාවෙන් ඉවර කරන්න කවුද කියල දුන්නෙ?

අනික පලවෙනි පේලියම බලන්න. ඔයා ආදරණීය කියන වචනෙ වැරදියටනෙ ලියල තියෙන්නෙ. ඒක ලියන්න ඕනෙ මුර්ධජ '' අකුරක් එක්ක. මම ඒ වැරද්ද තැන් කිහිපයක දැක්ක. ඊලඟට ඒ ලියමන පුරාම කතා කරන භාෂාවයි ලියන භාෂාවයි පටලගෙන තියෙනව. අනික ඔයා මොකටද ඔයාට කියන්න තියෙන බරපතලම දේට සුද්දගෙ භාෂාව තෝරගත්තෙ? ඔයා හිතනවද ඒක අදහස ලස්සන කරනව කියල? ඊට වඩා සිංහල භාෂාවම ඔයාට කොච්චර ලස්සනට පාවිච්චි කරන්න තිබුනද?

දිනිති, ඔයා ලබන සතියෙ පන්තියට එනකොට මේ ලියුමෙ වැරදි ඔක්කොම හරිගස්සල මට ගෙනත් පෙන්නන්න ඕනෙ. තේරුනාද?"

" හොඳමයි සර්. එහෙනම් මම ගිහින් එන්නම්"

එයා එදා ඇස් දෙකේ කඳුලු පුරෝගෙන යනව මම බලාගෙන හිටියා.



100% fiction!...

Wednesday, September 14, 2011

අන්ධ සිතුවිලි

කන්ද උඩ සිට
ලන්ද මත හිඳි
මන්ද මා දෙස
බැලුම් හෙලුවේ

බැන්ද සෙනෙහස
වැන්ද දෙවියන්
දැන්ද ඔබ හට
සපත කෙරුවේ

බින්ද නිදි නැති
අන්දකාරේ
අන්ධ මා හට
නැද්ද සහනේ

නග්න වී ඇති
සප්ත ස්වරයද
ශබ්ද නැතිවම
හඬා වැටුනේ

Thursday, September 8, 2011

පුංචි කවියක්

ඒ රට ජර්මනිය
රැකියාව වෙළෙන්දිය
ඇය විකුනන්නීය ඇයවම
ඉඩ දේවි නීතිය
බදු ගෙවන තුරු ඈ

කෙටිම කෙටි කතාවක්

'අපෝ, ඔයාලගෙ මහලොකු ඉස්කෝලෙ? යාලුවෙක් පොතක් ඉල්ලුවහම දෙන්නවත් දන්නෙ නැද්ද? ඉස්කෝලෙමයි ඔයාලට ඉරිසියාව පුරුදු කරන්නෙ'

'එන්න එපා අපේ ඉස්කෝලෙට මුකුත් කියන්න. අපේ ඉස්කෝලෙටනෙ මෙහේ A-9 ඒවා වැඩිපුරම තියෙන්නෙ'

'A-9 නෙවෙයි A-100ක් තිබුනත් වැඩක් තියෙනවද මනුස්සකම කියල දෙන්නෙ නැති ඉස්කෝලෙකින්? හරි, මම මුලින් කියපු කතාව බොරුද?'

'හ්ම්! ඇත්ත තමයි. වෙන කෙනෙක්ට පොතක් දෙනව දැකලා නෑ කවුරුවත් අපේ ඉස්කෝලේ'

'ඒකනෙ, ඔයා කියන්න වෙන ළමයෙක් absent වෙලා හරි මොකක්, හරි පොතක් ඉල්ලුවොත් ඔයා දෙනවද?

'මොකක්! වෙන කිසි කෙනෙක් මට දෙන්නෙ නැත්නම් මම දීලා මොකටද?'


වැදගත් - සත්‍ය සිද්ධියක් ඇසුරෙනි


Friday, September 2, 2011

තටු ලැබුනු සිංහයකු

කඩා බිඳ දමා බාධක
පියැඹුවා ඌ ඈතට
ඔහු මඟ පහරන්නාවූ
සියලු
ගිරි දුර්ග, කඳු ශිඛර
කඩා පොඩි කරමින්
වියරු වූ ඒ සිංහයා
පියඹයි වේගයෙන්
සතුරා ඉදිරියට

ඒ මඟ වැටුනු
සියලු දෑ
පාගා තලා පොඩි කොට
අහුවුන සියලු වුන්
මරා පොඩි කරයි
යක්ෂාරූඪ වූ සිංහයා

සතුරා දෙසට යන මඟ්
තැලුනු පොඩි වුනු අහිංසක
සතුන් වෙනුවෙන්
හේෂාරවය කළ අසුන් පිරිසක්
පැහැරගෙන, තලා මස්,
ඉරා හිස් කබල
දමා ගියහ
කාණුවක් අසල

රුදු සිංහයා
ජයගෙන පැමිනෙයි
සතුරා සමඟ
බිහිසුනු සටන;
දැන් තටු හකුලා

ඔව් සිංහයා රජුයි වනයේ
මුත් අනෙක් සතුනුත්
විසිය යුතුයි එතුලම!!